දශක හතරකට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08දා) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජාතියට දායාද කෙරිණි.
රජ රට ගොවි ජනතාවගේ කෘෂිකර්ම සහ පානීය ජල ප්රශ්නය විසදා එම ජනතාවගේ වසර ගණනාවක කදුළු කථාව නිමා කෙරෙන මොරගහහකන්ද මහා වාරි ව්‍යාපෘතිය විසි එක්වන සියවසේ ශ්‍රී ලංකාවේ ඉදි වූ වාරි විස්මිතය ලෙස නිම කර තිබේ.
මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් මහා ජලාශය වන මොරගහකන්ද ව්‍යාපෘතිය තුළින් අක්කර ලක්ෂ 3ක් අලුතින් අස්වද්දා පවුල් ලක්ෂ 15කට සෙත සැලසෙන අතර, පවුල් ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සැපයේ.
මේ වන විට සම්පූර්ණයෙන් ජලයෙන් පිරී පවතින ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසක් වන අතර එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයකි.
රජ රට ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දීර්ඝ කලක සිට දුටු සිහිනයක් වන මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2007 වසරේ ඇරඹුණ ද නිසි රාජ්‍ය අනුග්‍රහයක් නොලැබීම හේතුවෙන් එහි කටයුතු ප්‍රමාද විය.
2015 ජනවාරි 08 වනදින රාජ්‍ය නායකත්වයට පත් ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික කැපවීම සහ උනන්දුව මත ව්‍යාපෘතිය කඩිනම් කෙරිණි.
සිනෝහයිඩ්‍රෝ චීන සමාගම විසින් ඉදිකිරීම් කටයුතු සිදුකර තිඛෙන ව්‍යාපෘතිය නිල වශයෙන් මෙහිදී ශ්‍රී ලංකා රජය වෙත භාරකෙරුණු අතර මහජන චීන සමූහාණ්ඩුවේ අතරතුර තානාපතිනි පන්ග් චුන්ශන් මහත්මිය විසින් ඊට අදාළ සංදේශය ජනාධිපති වෙත පිළිගැන්වූවාය.
මෙගා වොට් 25ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන විදුලි බලාගාරයේ කටයුතු ද මේ හා සමගාමීව ආරම්භ කෙරිණි.
නකල්ස් කදු නිම්නයේ සිට අඹන් ගග හරහා ගලා ගිය ජල කද හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර තිබෙන අතර මොරගහකන්දට යාබදින් ගලා බසින කළුගග හරස්කර ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සපයනු ලබයි. ශ්‍රී ලංකාවේදී දැකිය හැකි ගල් පිරවූ ප්‍රධාන වේල්ලක්, කොන්ක්‍රිට් කරන ලද වේල්ලක් මෙන්ම පස් වලින් සෑදු වේල්ලක් යන වේලි තුනකින් යුත් එකම ජලාශය මොරගහකන්ද ජලාශය වීම ද විශේෂත්වයකි.
මොරගහකන්ද - කළුගග ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැවි 2000 කට අලුත් දියවර සැපයේ. ඒ අනුව වයඹ පළාතේ වැව් 303කට සහ උතුරුමැද පළාතේ වැව් 1600 කට ජලය සැපයෙන අතර නව ලග්ගල හා මැදිරිගිරිය ප්‍රදේශයේ ඉදිකරන නව නගරය හා නව ජනපදවල අලුත් වැව් 48 ක් ඉදිකරනු ලැබේ.
ව්‍යාපෘතිය හේතුවෙන් නාඋල හා ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අවතැන්වන පවුල් 3500 ක් පමණ මේ වන විට නැවත පදිංචිකිරීම් සිදුකරමින් පවතින අතර, දේපළ අහිමිවීම් සදහා වන්දි මුදල් ලබාදීම සිදුකරමින් පවතී.
ජලාශයෙන් අපේක්ෂිත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ධාරිතාව වාර්ෂිකව ටොන් තුන් දහසක් වන අතර එමඟින් අපේක්ෂිත වාර්ෂික ආදායම රුපියල් මිලියන 225කි.
මොරගහකන්ද ජලාශය ආශ්‍රිතව වාර්ෂිකව ඇදහැළෙන වර්ෂාපතනය ඝණ මීටර් මිලියන 818 ක් වන අතර එම මහා ජල කද මුහුදට ගලායෑම වළකා ජලාශයේ රඳවා ගැනීම හේතුවෙන් මනම්පිටිය හා සෝමාවතිය ප්‍රදේශවලට වාර්ෂිකව ඇතිවන ගංවතුර තත්ත්වය අවම කිරීමට ද මෙම ව්‍යාපෘතිය තුළින් හැකියාව ලැබේ.