කවුඩුල්ල ප්‍රදේශයේ පසුගියදා පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දිව ආ පුංචි දියණියක් ජනාධිපතිතුමාගේ තුරුළට වී සුරතල් බස් දොඩමින් සිටිනු දක්නට ලැබිණි. ඒ සැප්තැම්බර් මාසයේදීය.
ජනපති හමුවීමට පැමිණි මෙම පුංචි අමුත්තිය නමින් දිනුල්‍යා චනාදි වූ අතර, සිය දෙමාපියන් සමග මැදිරිගිරිය, අමුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටින්නීය.
ඊයේ (01) මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහන් රැසකට සහභාගී වූ ජනාධිපතිවරයා මෙම දියණියගේ නිවසට පැමිණ ඇගේ සුවදුක් විමසීමට අමතක නොකළේය.
දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමලා වූ දිනුල්‍යා චනාදි දැරිය බහ තෝරන වයසේ පටන් ජනාධිපතිතුමා රූපවාහිනියේ දකින හැම මොහොතකම සිනාසෙමින් සහ නොයෙකුත් දේ කියමින් එම වැඩසටහන් නරඹන බව ඇගේ දෙමව්පියන් පැවැසූ බව ජනපති මාධ්‍ය අංශය කියයි.
පසුගියදා ජනාධිපතිතුමා මැදිරිගිරිය, කවුඩුල්ල ප්‍රදේශයට පැමිණෙන බව දැන ගැනීමත් සමග ජනාධිපතිතුමා බැලීමට යමු යැයි සිය පියාට ඇවිටිලි කළ දැරිය පියා සමග එම ස්ථානයට ගිය ද වේදිකාව අසළට යාමට ඔවුන්ට හැකියාවක් නොලැබිණි.
එහෙත් එකවර සෙනග අතරින් ජනාධිපතිතුමා වෙත දිව ආ දැරිය ආරක්ෂක නිලධාරින් විසින් නතර කිරීමට තැත් කළ ද, ජනාධිපතිවරයා එය වළක්වා එම සුරතල් දියණියට තමා වෙත ඒමට ඉඩ සැළැස්වීය.
ජනාධිපතිවරයා තුරුළට වී සුරතල් බස් දෙඩවූ දැරිය එම උත්සවය අවසන්වන තුරුම ජනාධිපතිවරයා අසළට වී සිටිනු දක්නට ලැබුණි. එදින ඇය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආමන්ත්‍රණය කර තිබුණේ මෛත්‍රී සීයා යන නමිනි.