මුදල් නොගෙවූ බව පවසමින් කිරි ගොවීන් විරෝධයේ


මිල්කෝ ආයතනය මගින් කිරි ගොවීන්ට රුපියල් මිලියන 900ක මුදලක් ගෙවීමට තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (13දා) පැවසීය.

මිල්කෝ සමාගමට ලබාදෙන කිරි සඳහා සති දෙකකට වරක් ගොවීන්ට මුදල් ලබාදීම සිදුකළද මේ වන විට අවස්ථා දෙකකදී මුදල් ලබානොදීම නිසා ගොවීන්ට ආර්ථීක ප්‍රශ්න ඇතිවී තිබෙන බවත්, කිරි හරක් නඩත්තු කිරීමේදී දුෂ්කරතා පැනනැගී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කොල්ලුපිටියේ පිහිටි ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති කිරි ගොවීන්ගේ උද්ඝෝෂණයේදී හෙතෙම මේ බව පැවසීය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කිරි ගොවීන් වෙනත් යමක් ඉල්ලා නොසිටින බවත්, තමන්ගේ කිරිවල මුදල් පමණක් ඉල්ලා සිටින බවත්ය.

මෙම උද්ඝෝෂණයට අම්පාර, අනුරාධපුරය, මොනරාගල ඇතුළුව දිවයින පුරා සිටින කිරිගොවීන් සහ ගොවි සංවිධාන නියෝජිතයන් දහසකට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

උද්ඝෝෂණයෙන් අනතුරුව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන්, අමාත්‍යාංශයේ ලේකම්වරයා , මිල්කෝ ආයතනයේ සභාපතිවරයා සහ ගොවි සංවිධාන නියෝජිතයන් 10 දෙනෙකු අතර සාකච්ඡාවක් පැවැත්වුණු අතර, ලබන සතියේ සිකුරාදා වන විට ගොවීන්ගේ මුදල්වල කොටසක්ද, එතැන් සිට දින 10ක් ඇතුළතදී ඉතිරි සියලු මුදල්ද ලබාදෙන බවට පී .හැරිසන් ඇමතිවරයා එහිදී පොරොන්දු විය.

කිරි ගොවීන් මුහුණපා සිටින ඛනිජ හා බෙහෙත් මිල ඉහළ යෑම, පශු වෛද්‍යවරුන්ගේ හිඟය, ප්‍රවාහන පහසුකම් නොමැතිවීම යන ගැටලුද මාස තුනක් ඇතුළතදී විසඳන බවට ඇමතිවරයා මෙහිදී ගොවි නායකයන්ට පොරොන්දු විය.

DSC_7457 DSC_7460 DSC_7461 DSC_7476 DSC_7478 DSC_7491 DSC_7492

ඡායාරූප ශමීර රාජපක්ෂ



Recommended Articles