මියෙන්මාර් රජයෙන් ලැබුණු ඇතා දළදා මාලිගාවේ ඇත් ගාලට


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියට මියෙන්මාර් රජයෙන් ලැබුණු ඇතා මේ වන විට දළදා මාලිගාවේ ඇත් ගාලේ රඳවා ඇත.

මියෙන්මාර් රජයෙන් මෙරටට ලැබුණු පස්වන හස්තියා මෙම හස්තියා වන අතර, මීට ඉහතදී දළදා මාළිගාවේ ඇත් පංතිය සඳහා මියෙන්මාර් රජයෙන් ලැබුණු හස්තීන් අතර මියෙන් රාජා හා බුරුම රාජා පෙරහර මංගල්‍ය සඳහා විශාල සේවයක් සලසන බවත් දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

‍දළදා මාලිගාවේ සිටි ඒකදන්ත  හස්තියාගේ අභාවයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම හස්තියා මාලිගාවේ ඇත් පංතිය සඳහා ලැබුණු බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

වයස අවුරුදු 24ක් පමණ වන මෙම හස්තියා පසුගිය18 වන දින දළදා මාළිගාවේ ඇත් ගාලට රැගෙන විත් ඇත.ඉදිරි දිනකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දළදා මාලිගාවේ ඇත් පංතිය සඳහා නිල වශයෙන් භාරදීම සිදුවන බවද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේය.

මියෙන්මාර් රජයෙන් ලැබුණු ඇතා මෙරටට ගෙන ආ පසු දළදා මාලිගාවේ ඇත් ගාලේ ඇති අනික් අලින් ඉවත්කර ඇත් පැටවාගේ නිරෝධාන කටයුතු කරනු ලබන බවත්,එය අවසාන වීමෙන් පසු නිල වශයෙන් දළදා මාලිගාවේ ඇත් පංතියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්භාර දෙනු ලබයි.

දළදා මාලිගාවේ ඇත් පංතිය ඇතුන් නව දෙනෙක් හා අලින් තිදෙනෙකුගෙන් සමන්විත වන බවත්, මියෙන්මාර් රජයෙන් ලැබුණු ඇතා දළදා කරඬුව වඩම්මන්නට හැකි දේහ ලක්ෂණ වලින් පිරිපුන් ඇතෙකු බවත් ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතිය භාර වෛද්‍ය ප්‍රදීප් මියෙනපලාව මහතා පැවසීය.

1 2 3



Recommended Articles