මින්නේරිය ජාතික වන උද්‍යානය තුළ අලියෙකු සහ දළ ඇතෙකු අතර ඊයේ (20දා) සිදුවූ ගැටුමකින් බරපතළ තුවාල ලැබූ අලියා අද (21දා) මියගොස් ඇතිබව මින්නේරිය ජාතික උද්‍යානයේ උද්‍යාන පාලක පී.බී.බී. මඩුගල්ල මහතා සඳහන් කර සිටියේය.
මේ පිළිබඳව ලද තොරතුරකට අනුව වන ජීවි නිලධාරීන් අලි වෙඩි දමා ඇතා සහ අලියා වෙන් කිරීමට උත්සාහ දැරුවද එය සාර්ථක නොවූ බව ඒ මහතා පැවසීය.
මෙම ගැටුමින් අලියාගේ ඇස ප්‍රදේශයට හා උදරය ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති අතර, ඒ හේතුවෙන් අලියා බිම ඇද වැටී තිබේ.
ගැටුමින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් පමණ වන අඩි 15ක් පමණ උස මෙම වන උද්‍යානයේ සිටි විශාල අලියෙකු බවත්, මීට වසර 05කට පමණ පෙරත් මෙවැනි ගැටුමකින් අලියෙකු මිය ගොස් ඇති බවත්, මඩුගල්ල මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.