අප්‍රිකානු මහද්වීපයට අයත්, මාලි රාජ්‍යයේ, බමාකෝ අගනුවර තරු හෝටලයකට කඩා වැදුණු ඉස්ලාම් අන්තවාදී ත්රස්තයන් එහි සිටි කාර්ය මණ්ඩලය හා අමුත්තන් ඇතුළු විශාල පිරිසක් ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටී.
එරට වේලාවෙන් අද උදෑසන 7.00 පමණ ඉස්ලාම් අන්තවාදීන් හෝටලය අත්පත් කරගන්නා විට එහි ප්‍රාණ ඇපකරුවන් 170ක් පමණ රඳවාගෙන සිටි බව කියයි.
කෙසේ වෙතත්, මේ වනවිට ප්‍රාණ ඇපකරුවන් 80ක් පමණ නිදහස ලබා ඇති අතර, එරට විශේෂ කාර්ය බලකාය සෙසු ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
අතීතයේ ප්‍රංශ කොලනියක්ව පැවති මාලි රාජ්‍ය කලක් අල්කයිඩා ත්රස්තයන්ට සම්බන්ධ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් සමග සටන් වැදුණු රාජ්‍යයකි.
අල්ලාහ් දෙවියන් ශ්‍රේෂ්ඨයි කියමින් ත්රස්තයන් හෝටලයට කඩා වැදුණු බවත්, ඔවුන් එහි සෑම කාමරයක් කරා ගොස් සියලු පිරිස් ප්‍රාණ ඇපයට ගත් බවත් ඉන් මිදී පැමිණි අය කියයි.
එහිදී, ඇතැම් ප්‍රාණ ඇපකරුවන් කුරානයේ වාක්‍යයක් පැවසීමෙන් නිදහස ලබා ඇති අතර, තවත් පිරිස් තමාගේම වෑයමෙන් නිදහස ලබා ඇති බව කියැවෙයි.
මේ අතර, එයාර් ෆ්රාන්ස් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකුද මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ හෝටලයේ සිටියත්, ඔවුන් ආරක්ෂිතව පිටවී තිබේ.
එමෙන්ම, තුර්කි ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකුගෙන් තිදෙනෙකුද බේරී පැමිණ ඇති බව එරට බළධාරීහු කියති.
මාලි ජනාධිපති ඊබ්‍රාහිම් බෞබකාර් චාද් රාජ්‍යයේ පැවැත්වීමට තිබූ කලාපීය සමුළුවක්ද අවලංගු කරමින් සිය කාර්යාලය වෙත පැමිණ ඇති අතර, ප්‍රංශ ජනපති ප්රංශුවා හොලන්දේ පවසා ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට හැකි සෑම ප්රයත්නයක්ම දරණ බවයි.
ප්‍රංශයේ පැරිස් නගරයට අයි.එස්. ඉස්ලාම් ත්රස්තයන් ප්‍රහාරයක් එල්ල කර සතියක් ගතවන තැන මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
කෙසේ වෙතත්, බමාකෝ ප්‍රහාරයට සම්බන්ධ වී ඇති ඉස්ලාම් අන්තවාදීන් ගැන පැහැදිලි තොරතුරක් වාර්තා නොවූවත්, මෙම ප්‍රාණ ඇපකාර සිද්ධියේ වගකීම අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් බාරගෙන ඇති බවද විදෙස් වාර්තා කියයි.