වැලල්වාය, තණමල්විල මාර්ගයේ 38 කණුව ආසන්නයේ ඊයේ (27දා) සිදුවූ මාරක රිය අනතුරකින් මොටර් රථයක ගමන්ගත් සිවුදෙනෙකු මියගොස් තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.
වැල්ලවාය නගරයේ පැවැති මහින්ද රාඡපක්ෂ මහතා පැමිණෙන ජනහමුවක් නැරඹීමට පැමිණි, ගාල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් රැගත් තණමල්විල සිට ධාවනය වූ මෝටර් රථයක් බදුල්ල සිට තනමල්විල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
මෙම අනතුරින් ගාල්ල හා කිරම ප්‍රදේශවල පදිංචි මෝටර් රථයේ ගමන්ගත් දිලිප් රංගජිත් පෙරේරා (42) දේශාන් වීරසේකර (38)ජී. ඒ. අනුරාධ ගඡවීර (43) එම්. ආර්. චමින්ද (37) යන අය මියගිය අතර, රවීන් ක්‍රිෂාන් වර්ණවීර හා ලියනග තරංග යන අය තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කෙරිණි.
බස්රථයේ ගමන්ගත් මගීන් තිදෙනෙකුද මින් තුවාල ලැබූ අතර, මෝටර් රථයේ සිරවී සිටි පුද්ගලයන් බේරා ගැනීමට ප්‍රදේශවාසීන්ට හා කුඩාඔය පොලීසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
මියගිය දිලිප් රංගජිත් පෙරේරා නැමති අය එංගලන්තයේ සිට මීට ටික දිනකට පෙර මෙරටට පැමිණි අයෙකු බවත්, ඒ පැමිණ ඇත්තේ බිරිඳගේ දරු ප්‍රසූතිය සම්බන්ධයෙන් බවත් වාර්තාවේ .
මෝටර් රථයේ අධික වේගය හා රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අයි.ආර්. ඉන්දික/සුමනසිරි ගුණතිලක/සංජීව බණ්ඩාර