මහවැලි කලාපවල දූපුතුන්ගේ කලා හා සංස්කෘතික නිර්මාණ පෙළගැසුණු, මහවැලි ප්‍රතිභා අන්තර් කලාපීය කලා මංගල්‍යය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27දා) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මහවැලි ගම්මානවල පිහිටි පාසල්වල අධ්‍යාපනය හදාරන දරුදැරියන්ගේ කලා හා සංස්කෘතික හැකියාවන් ඔපමට්ටම් කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා සංකල්පයකට අනුව, මහවැලි සංස්කෘතික බළකාය හා මහවැලි කේන්ද්‍රය එක්ව මෙය සංවිධානය කර තිබිණි.
මහවැලි දරුදැරියන් 850ගේ පමණ සහභාගිත්වයෙන් පැවැති මෙවර මහවැලි ප්‍රතිභා අන්තර් කලාපීය සංස්කෘතික මංගල්‍යය මහවැලි දූපුතුන්ගේම ගායන, වාදන, නර්තන හැකියා රැසකින් විචිත්‍රවත් කෙරිණි.
සුවිශේෂි දක්ෂතා දැක්වූ දරුදැරියන්ට සහතිකපත් සහ තිළිණ ප්රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.
මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජිත් විජයමුණි ද සොයිසා, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් අනුර දිසානායක, මහවැලි කේන්ද්‍රයේ අධ්යක්ෂ අරුණ ප්‍රසාද් ලේකම්ගේ යන මහත්වරුන්ද, තානාපතිවරුන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.