ආබාධිත දරු දෙදෙනාත්, ආබාධිත මිනිබිරියන් දෙදෙනාත්, ආබාධිත ලේලියත් ජීවත් කරවන 76 හැවිරිදි දිරිය මවක් පිළිබඳව අපූරු පුවතක් පෙරේදා (08දා) ලෝක මව්වරුන්ගේ දිනයේදී අපට හමු විය.පිළිකා රෝගයකින් සිය සැමියාද අහිමි මෙම මව ගලේවෙල දේවහුව මාර්ගයේ දිග්ගල හන්දියේ පදිංචිව සිටින බව ගලේවෙල දුමින්ද බණ්ඩාරනායක මහතා අපට දැනුම් දුන්නේය.
මම විවාහ වුණ දා ඉඳලා තවම දුක අවසන් කරලා නැහැ. එන්න එන්නම දුක වැඩිවෙලා තියෙන්නේ. මට ලොකුම දුක තමයි මම මැරුණොත් මේ අහිංසකයන්ට මොනවා වෙයිද කියලා. ලොකු පුතා බන්දලා දුන්නා. ඒත් දරුවො දෙන්නම ආබාධිතයි. මගේ පොඩි පුතාට හරියට තේරෙන්නෙ නැහැ. මම ඔක්කොම කරනවා. කාටවත්ම වෙනස් විදිහට සලකන්නෙ නැහැ. උයන දේ හැමෝටම බෙදලා දීලා කවලා ජීවත් කරවනවා. කවුරු හරි මොනවා හරි ගෙනල්ලා දුන්නොත් කනවා. උයනවා. නැත්නම් ඉතින් බඩගින්නේ ඉන්නවා. මොනවා කරන්නද? |
එච්.එම්. මැගිලින් නෝනා (76) (හරියටම වයස නොදනී) දෙදරු මවකි. ඇයගේ වැඩිමහල් පුතා බී.කේ. ගාමිණී අවු 50 කි. බාල පුතා තිලක් හපන්ගම (36) කි. මෙම දරුවන් දෙදෙනාම මන්ද මානසික ආබාධිත තත්ත්වයේ පසුවෙයි. කුලී වැඩ කරමින් දරුවන් ජීවත් කරමින් සිටියදී වැඩිමහලු දරුවා තවත් ආබාධිත කාන්තාවකට විවාහ කර දීමට ඇය තීරණය කර ඇත්තේ විඳින දුකෙන් මඳක් හෝ ඉසිඹුවක් ලබාගැනීම සඳහාය.
එහෙත් ලොකු පුතාට දාව දියණියන් දෙදෙනෙක් ලැබී ඇත. එම දෙදෙනාද මානසික ආබාධයකින් පෙලීම මෙම මවගේ දරු දුකට තවත් බරක් එල්ල වී ඇත.
වසර ගණනාවක් ඉන්නට හිටින්නට තැනක් නොමැතිව මෙම දරු පවුල ජීවත් කරවූ මේ පවුල් දෙකටම ගලේවෙල සමෘද්ධි බැංකු සංගමයෙන් කුඩා නිවාස දෙකක් සකස් කර දී තිබේ.