මඩකලපුව අභ්‍යන්තර ගුවන් තොටුපොළේ නවීකරණය කරනලද ගුවන් ධාවන පථය සහ අලුතෙන් ඉදිකළ මගී පර්යන්තය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10දා) පෙරවරුවේ විවෘත කෙරිණි.
මඩකලපුව ගුවන් පථයේ නවීකරණ කටයුතු සඳහා පූර්ණ දායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබාදී තිබූ අතර, මීටර 1,560ක දිගින් යුතු ගුවන් පථය ප්‍රතිසංස්කරණය සඳහා වැය කළ මුදල රු.මිලියන 1,143ක් බව කියයි.
ඒ අනුව, ඉදිරියේදී රට අභ්‍යන්තරයේ සිදුවන ගුවන් ගමන් සඳහා මෙම ගුවන් තොටුපොළ භාවිතයට ගැනීමට නියමිත අතර,මඩකලපුව ගවන් හමුදා කඳවුර තුළ ගුවන් පථය පිහිටා තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් MA-60 යානයකින් එම අවස්ථාවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා පැමිණි අතර, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මඩකලපුව අභ්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු ගුවන් හමුදාව විසින් සිදුකරනු ලැබුවත් 2016/07/28 දින ගැසට් පත්‍රය අනුව එහි අයිතිය සිවිල් ගුවන් සේවා අධිකාරියට පවරා ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා කටයුතු කර තිබුණි. ඒ සඳහා පසුගිය මැයි 31වැනිදා ඉදිරිපත් කරනලද කැබනට් පත්‍රිකාවට ජුනි 14වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිව තිබුණි.
ඡායාරූප - ප්‍රදීප් පතිරණ