මඩකලපුවේ චෙන්කලඩි ප්‍රදේශයෙන් අනුරාධපුර යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථානයන්හි නටබුන් රැසක් සොයාගැනේ


මඩකලපුව දිස්ත්‍රික්කයේ තලවායිකණ්ඩම් ස්ථානයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකළ කැණිමකදී අනුරාධපුර යුගයට අයත් පුරාවස්තු කිහිපයක් සොයාගැනීමට හැකිවී තිබේ.

පන්කුඩාවලි පුරාවිද්‍යා භූමියෙහි කළ කැණීම් පරිශ්‍ර 23කින් අනාවරණය වූ තොරතුරු අනුව, ගඩොල් බැමි, පැරණි ගඩොල් කැට, උළුකැට, එකතැන ගොඩගසා ඇති ගල් කණු, සඳඩපහණ, මුරගල්, සිරිපතුල් ගල්, උඩලිපත, පිළිම පාදම් කොටස් ආදිය හමුවී ඇති අතර, මතුපිට ඇති නටබුන් සහ දාගැබ් ගොඩැල්ලේ සාධක අනුව මෙම ස්ථානයෙහි බෞද්ධ ආගමික සංකීර්ණයක ලක්ෂණ ප්‍රකට කරවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පරිශ්‍රයෙහි දෙවැනි අදියරේ සිදුකළ කැණීම් මගින් දාගැබක ශේෂ නටබුන්, ප්‍රාකාර බැමි, දාගැබ් වේදිකාවක් හමුවී ඇති අතර, පසුකාලීනව අවතැන් වූ ගල්කණු භාවිතයෙන් දාගැබ වටා ඉදිකරන ලද රවුම් ගඩොල් ඇතුරුමක්ද, ගල්කණුවලටම සම්බන්ධ කර ගඩොලින් ඉදි කළ තවත් ගඩොල් බැම්මක් ද හමුවූ පර්යේෂණ කණ්ඩායම පවසයි.

මීට අමතරව පොළව මට්ටමේ සිට අඩි 3 ½ ක ගැඹුරින් පාදමක් සහිතව ඉදිකළ දොරටුවක කොටස්, ඊට ආසන්නයෙහි කොරවක්ගල් දෙකක්, ප්‍රාකාර බැමි දෙකක්, දාගැබේ අඩි 5ක් පමණ උසට විවිධ හැඩතල සහිත වරි කිහිපයක් හමුවී ඇති අතර, ධාතු ගර්භය නිදන් හොරුන් විසින් හාරා විනාශ කර ඇති බවත්, කැණීම් අතරතුර ලෝහමය කාසි කිහිපයක්ද, වීදුරු කරඬුවක් යැයි අනුමාන කළ හැකි කොටසක්ද, පබළුවක්ද, නාග පෙණ 5කින් සමන්විත ලෝහමය නාග රූපයක්ද හමුවී තිබෙන අතර, ඉපැරණි වළං කැබලි, උළු කැබලි, හැඩතල කැපූ ගඩොල් කැබලි ද මෙම පරිශ්‍රයෙන් සොයාගත් බවද ඔවුහු පැවසූහ.

මීට පෙර, ලංකාවේ පැරණිතම ගල් පාලම හමුවී ඇත්තේද මඩකලපුව පාසිකුඩා සහ වාලච්චේනි ප‍්‍රදේශයන්ට උතුරින් වූ කායන්කේනි වගුරුබිම ආසන්නයෙන් බවත්, එම ගල්පාලම දිගින් මීටර් 240 ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගෙන ඇති දිගම ගල්පාලම බවද එම නිලධාරීහු අනාවරණය කළහ.

ශ්‍රී ලාංකේය උරුමයන් සහ සංස්කෘතික වටිනාකම් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම ජාතික වගකීමක් මෙන්ම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා දිස්ත්‍රික්ක කිහිපයක මෙම කැණීම් කටයුතු සිදුකරන බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි

DSCN3824 Chenkaladi DSCN3825 Chenkaladi DSCN6769 dav dav



Recommended Articles