(UPDATE) යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට පසුගිය 23 වැනිදා පැවති ජනමතවිචාරණයේදී බ්‍රිතාන්‍ය ජනතාව 52% ක වැඩි ඡන්දයකින් කැමැත්ත පළ කිරීම, එම තීරණයට පිටුපා සිටි අගමැති ඩේවිඩ් කැමරන්ට සිය ධුරයෙන් ඉවත්වීමට මෙන්ම, දශක හතරකට වැඩි යුරෝපා සංගමයේ බැඳීම් දෙදරා යමින් ගෝලීය ආර්ථිකය කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කිරීමටද හේතු විය.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව මහත් වූ බැඳීමක් සමග ඇති කරගනු ලැබූ යුරෝප සංගමයේ ප්‍රබල සාමාජිකයෙකු වූ බ්‍රිතාන්‍යයේ මේ තීරණය යුරෝපා සංගමයට මෙන්ම, ඉන් පරිබාහරිවද මහත් කැළඹුමක් ඇතිකළ බව ඊයේ (24දා) දිනයේ ගෝලීය කොටස් වෙළෙඳ පොළ හැසිරීමම පෙන්නුම් කරන්නට විය.
ඒ අනුව, ලොව පුරා සියලුම කොටස් වෙළෙඳ පොළ පාහේ ඊයේ දිනයේදී ප්‍රබල කඩා වැටීමක් පෙන්නුම් කරද්දී, ඉතිහාසයේ දිනක් තුළ ස්ටර්ලිං පවුමේ ඉහළම අවප්රමණයද වාර්තා විය.
මේ ඓතිහාසික ඡන්ද විමසීමත්, එහි බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයත් සමගම යුරෝපා සංගමයේ ප්රබලතම රාජ්‍යයයක් වන ජර්මනියේ චාන්සලර්වරිය, ඇන්ජෙලා මාර්කෙල් එළැඹෙන සඳුදා (27දා) ප්‍රංශය හා ඉතාලිය යන රටවල නායකයන් සමග බර්ලීනයේදී විශේෂ හමුවක් කැඳවා ඇත්තේ සිය අනාගතයේ මීළඟ පියවර ගැන සාකච්ඡා කිරීමටය. එමෙන්ම, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, බෙල්ජියම, නෙදර්ලන්තය හා ලක්සැම්බර්ග් යන රටවල විදේශ කටයුතු අමාත්‍යවරු අද (25දා) දිනයේ විශේෂ හමුවක් යොදාගෙන ඇත.
ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා ඊයේ (24දා) දිනයේදී මෙම වෙන්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ වොෂිංටනය (ඇමෙරිකාව) තවදුරටත් ඔවුන්ගේ විශේෂ සම්බන්ධතාව ලන්ඩනය (බ්‍රිතාන්‍යය) මෙන්ම බ්‍රසල්ස් (යුරෝපා සංගමය) සමගද පවත්වන බවයි. කෙසේ වෙතත්, මීට පෙර බ්‍රිතාන්‍යයේ සංචාරය කළ බරැක් ඔබාමා මෙම තීරණයට (යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ) එරෙහිව අදහස් දැක්වූවෙකු බව නොරහසකි. නමුත්, බ්‍රිතාන්‍ය ජනතාව මෙම තීරණයට එරෙහිව සිටි සිය අගමැති ඩේවිඩ් කැමරන්ටවත් ඇහුම්කන් නොදුන්නේ නම්, එය බරැක් ඔබාමාටවත් කළ නොහැකි වී ඇති බවද ඡන්ද ප්‍රතිඵලය සමග ප්රත්යක්ෂ වී ඇත.
බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමය සමග සිටිය යුතු යැයි යන ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටි බ්‍රිතාන්‍යය අගමැති ඩේවිඩ් කැමරන් මෙම මැතිවණ ප්‍රතිඵලයත් සමග ඊයේ (24දා) අතිශය හැඟුම්බර කතාවක් කරමින් තමන්, එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ධුරයෙන් ඉවත් වන බව කියා සිටියේය. 2013 වසරේදී අගමැති කැමරන් ජනතාවට දුන් පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස පැවැත්වූ ජනමතවිචාරණය අද ඔහුටම පාරාවළල්ලක් වී අවසන්ය.
"බ්‍රිතාන්‍ය ජනතාව වෙනස් මාවතක් සඳහා ඉතා පැහැදිලි තීරණයක් ගෙන තිබෙනවා. මා හිතන්නේ ඒ නව මාවතේ ගමන් කිරීමට රටට නව නායකත්වයක් අවශ්‍යය බවයි." ඩවුනින් වීදයේ, අංක 10 අගමැති නිවස ඉදිරිපිටදී ජනතාව අමතමින් අගමැති කැමරන් පවසා සිටියේය.
"ඒ නිසා, අපේ රටේ මීළඟ ගමනාන්තය වෙත සුක්ඛානම හැසිරවීමේ කපිතාන්වරයා ලෙස මා කටයුතු කිරීම යෝග්‍ය බව මා හිතන්නේ නෑ" සිය බිරිඳ සමන්තා සමග අගමැතිවරයා මේ ප්‍රකශය ජනතාව හමුවේ පවසා සිටියේය.
බ්‍රිතාන්‍යය පවුම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 10% ක පහළ යෑමක් ඊයේ දිනයේදී පෙන්වා තිබුණේ, වර්ෂ 1985 තරම් ආපස්සට යෑමක් පිළිබිඹු කරමිනි. මෙම මැතිවරණ ප්‍රතිඵලය ලෝකයේ පස්වැනි විශාලතම ආර්ථිකයේ ආයෝජනයන්ට ප්‍රබල බලපෑමක් මෙන්ම, ගෝලීය ආර්ථික අගනගරය ලෙස ලන්ඩනයට තිබූ තැන අහිමි වීමක් හා මාස කිහිපයක් පැවතිය හැකි දේශපාලන අස්ථාවරත්වයක් පිළිබඳ ඉඟි පළ කරන්නට විය.
එය වඩාත් තීව්ර කරමින් ලොව පුරා කොටස් වෙළෙඳ පොළවල්වල වටිනාකම ඇ.ඩො.ට්‍රිලියන 2කින් ඊයේ දිනයේදී අඩු වී තිබුණි. යුරෝපීය කොටස් වෙළෙඳ පොළවල් 7% ක පහළ යෑමක් පෙන්නුම් කර තිබුණේ, 2008 ආර්ථික අර්බුදයෙන් පසුව දිනක් තුළ සිදුවූ ප්රබලතම පහළ යෑම වාර්තා කරමිනි.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------
යුරෝපා සංගමයෙන් ඉවත්වෙනවාද? නැත්ද? යනුවෙන් බ්‍රිතාන්‍ය පැවැත්වූ ජනමත විමසුමෙන් 52%ක පිරිසක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට පැවැසීමත් සමග අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා එළැඹෙන ඔක්තෝබර් මාසයෙන් පසුව සිය අගමැති ධුරයෙන් සමුගන්නා බව නිවේදනය කළේය.
මෙම ජනමත විමසුමේදී බ්‍රිතාන්‍ය යුරෝපය හා රැදි සිටිය යුතු බවට අගමැතිවරයාගේ අදහස වූ අතර ඔහුගේ තීරණය ජනතාව විසින් පරාජය කිරීම හේතුවෙන් අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
බ්‍රිතාන්‍ය වසර හයක් පාලනය කිරීමට තමාට අවස්ථාව ලැබීම ගෞරවයක් බවත් ඉදිරියටත් බ්‍රිතාන්‍යයට අවශ්‍ය සහාය දැක්වීමට තමන් සූදානම් බවත් අගමැතිවරයා සිය කතාවේදී පැවැසීය.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව එම කවුන්සිලය ලබන සතියේදී දැනුවත් කරන බවද ඔහු සිය කතාවේදී පැවැසීය.තම තීරණය පිළිබඳව බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් රැජිණියට දැනුම් දුන් බවත් කන්සවේටිව් පක්ෂයේ එළැඹෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන සමුළුවේදී නව අගමැතිවරයෙකු පත්කර ගනීවි යැයිද ඔහු පැවැසීය.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්ව ස්වාධීන රාජ්‍යයක් ලෙස සිටිය යුතු ලෙස එරට ජනතාව ඊයේ (23දා) පැවැත්වූ ජනමත විචාරණයේදී ඡන්දය ප්‍රකාශ කර ඇති බව මේ වනවිට වාර්තා වී තිබේ.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතුද? නැත්නම් ඉන් ඉවත්ව ස්වාධීන රාජ්‍යයක් ලෙස සිටිය යුතුද? යන ජනතා කැමැත්ත විමසා බැලෙන ජනමත විචාරණයේ ඡන්ද විමසීම එරට වේලාවෙන් (23දා) උදෑසන 7.00 ට ආරම්භ වී රාත්‍රී 10.00 ට අවසන් විණි.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව යුරෝපා සංගමය සමග එක්ව දැවැන්ත ගමනක් ගිය බ්‍රිතාන්‍යයේ වැසියන් මෙවැනි තීරණයකට එළැඹීම යුරෝපයට අදහාගත නොහැකි සිදුවීමක් වී තිබේ.
එහිදී, ප්‍රතිශතයක් ලෙස 51.8% ක පමණ ඡන්ද ප්‍රතිශතයක් යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු යැයි ඡන්දය ප්‍රකාශ කරද්දී, එහි තවදුරටත් රැඳී සිටිය යුතු යැයි ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 48.2% ක ප්‍රතිශතයක් පමණි.
මෙම ඓතිහාසික තීරණයත් සමග ස්ටර්ලිං පවුමේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 10% ක් පමණ අවප්‍රමාණය වෙමින්, වර්ෂ 31 කින් පසුව අඩුම අගය වාර්තා කරමින් ලෝකයේ 5 වැනි විශාලතම ආර්ථිකය සෙලවීමකටද ලක් කර තිබේ.
එමෙන්ම, යුරෝ මුදල් ඒකකයද ඇ.ඩොලරයට සාපේක්ෂව 3% කින් පමණ අවප්‍රමාණය වෙමින් මෙම දික්කසාදය දෙපාර්ශ්වයටම බලවත් අගතියත් සිදුකරන බව දැනටමත් පෙන්නුම් කර ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ඓතිහාසික මැතිවරණයක් වන මෙම ජනමත විචාරණය වෙනුවෙන් හාරකෝටි හැට ලක්ෂයකට ආසන්න ඡන්ද දායකයන් පිරිසක් සුදුසුකම් ලබා තිබුණු අතර, එය එරට මැතිවරණ ඉතිහාසයේද ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලැබූ ඉහළම ඡන්ද දායක පිරිස බවද කියැවෙයි.
එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ සාමාජික රටක් ලෙස සිටිය යුතුද?
නැතිනම් යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුද? යන පැනයන් මෙම ජනමත විචාරණය සඳහා වූ ඡන්ද පත්‍රිකාවේ වූ පැනයන් දෙකයි.
මීට පෙර එරට ජනමත විචාරණයක් පවත්වා තිබුණේ මීට වසර 40කට පමණ පෙරය. එය බ්‍රිතාන්‍ය යුරෝපා ආර්ථික ප්‍රජාව නම් වූ සංවිධානයට ඇතුළත් විය යුතුද, නැද්ද යන්න විමසීම සඳහා පැවැත්වූ ජනමත විචාරණයකි.
මේ අතර, ලන්ඩනය වෙත ඇද හැලුණු අධික වර්ෂාව නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේදී යම් යම් බාධා ඇති වූ බවක්ද වාර්තා විය. එහිදී, ඇතැම් උමං දුම්රිය ගමන් අයහපත් කාලගුණය නිසා ඇති වූ ගංවතුර හේතුවෙන් ඇණහිට තිබුණි.
කෙසේ වෙතත්, ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාත්‍රී 10.00 දක්වා කාලය ලබාදී ඇති බැවින් බාධාවකින් තොරව ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිවනු ඇති බව එරට මැතිවරණ බලධාරීන් පවසා තිබුණි.