බස් නැවතුම්පොළවලට CCTV


ප්‍රවාහන ක්‍ෂේත්‍රය තුළ පැනනැගී තිබෙන මැරක්‍රියා සහ කප්පම් ගැනීම් නතර කිරීම සඳහා සියලුම බස් නැවතුම්පොළවලට ආරක්‍ෂිත කැමරා පද්ධති සවිකිරීමට තීරණය කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (12දා) පැවසීය.

මැරක්‍රියා සහ කප්පම් ගැනීම් නැතිකිරීම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස තමන්ට හා ජාතික ගමනාගමන කොමිසමට පමණක්  සිදුකළ නොහැකි බැවින් සියලු මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරීවල සිටින නිලධාරීන් සහ පළාත් ප්‍රවාහන අමාත්‍යවරුන් සමග ඊයේ (12දා) සාකච්ඡා කර මෙම තීරණයට එළැඹි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති ජාතික හා පළාත් ප්‍රවාහන ක්‍ෂේත්‍රය ශක්තිමත් කිරීම පිළිබඳ වැඩමුළුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා,

“ප්‍රවාහන ක්‍ෂේත්‍රය තුළ පැනනැගී තිබෙන මැරක්‍රියා සහ කප්පම් ගැනීම් නතර කිරීමේනියාමන ක්‍රමවේදයක් ඇතිකිරීමට නොහැකිවීම විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් හිමියන් අතර තරගකාරීත්වය ඔළු පලාගන්න තත්ත්වයට, බස් කුඩු කරගන්න තත්ත්වයට, මැර ක්‍රියාවන් බවට පත්වෙලා තියෙනවා.

 දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබෙන පෞද්ගලික බස්රථ නැවතුම්පොළවල සිදුකෙරෙන කප්පම් ගැනීම් පිළිබඳව විශාල වශයෙන් පැමිණිලි ලැබී තියෙනවා. මේවා නැතිකිරීම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස මාහට පමණක් සිදුකළ නොහැකියි. ජාතික ගමනාගමන කොමිසමටත් සිදුකළ නොහැකියි.

ඒ නිසා අද සියලු මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරීවල සිටින නිලධාරීන් සහ පළාත් ප්‍රවාහන අමාත්‍යවරුන් සහභාගි වී සිටින මෙම සාකච්ඡා මණ්ඩපයේදී මා තීරණය කළා මේ සියලු බස් නවතුම්පොළවලට ආරක්‍ෂිත කැමරා පද්ධති සවිකිරීමට. ඒ තුළින් කප්පම් ගන්න සහ කප්පම් ලබාදෙන පිරිස නීතියේ රැහැනට හසුකර ගැනීමට අපට හැකිවන බව මා විශ්වාස කරනවා" යනුවෙන් පවසා සිටියේය.

 

 



Recommended Articles