පෘථිවිය සමාන ග්‍රහ ලෝක 7ක් සොයා ගැනේ - නාසා


(UPDATE) පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක් දුරින් තරුවක් වටා භ්‍රමණය වන පෘථිවියේ ස්වභාවය ගත් ග්‍රහ ලෝක 7ක් සොයා ගැනීමට හැකිවී තිබේ.

වොෂිංටනයේ නාසා මූලස්ථානයේදී මෙම සොයා ගැනීම නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

අප සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් සිදුවූ මෙම සොයා ගැනීම අතිශය දුර්ලභ සොයා ගැනීමක් වන අතර, මේ ග්‍රහ ලෝක හතම පෘථිවියට සමාන වීම නිසා ඒවායෙහි මතු පිට ද්‍රව ජලය ඇති බව තාරකා විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.

කෙසේ වෙතත්, එම ග්‍රහලෝකවල ජීවයක් පැවතිය හැකි කලාපයේ පිහිටා ඇත්තේ ග්‍රහලෝක තුනක් පමණක් බවද සඳහන් වෙයි.

මෙම ග්‍රහ මණ්ඩලය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක් දුරින් භ්‍රමණය වෙමින් තිබෙන බවත්, එම භ්‍රමණය වීම සූර්යයාට වඩා කුඩා හා උණුසුමින් අඩු ට්‍රැප්සිට් - 1 ලෙස නම් කොට ඇති තරුවක් වටා භ්‍රමණය වන බවත් එම විද්‍යාඥයෝ පවසති.

නාසා ආයතනයේ අභ්‍යවකාශගත කොට ඇති ස්පිට්සර් දුරේක්ෂයෙන් මෙන්ම භූමියේ පිහිටි නිරීක්ෂණ මධ්‍යස්ථාන කිහිපයකින් මෙම ග්‍රහ මණ්ඩලය නිරීක්ෂණය කර තිබේ.

"මේ ග්‍රහලෝක පිහිටා තිබෙන්නෙ එකිනෙකට සමීපවයි. ඒ වගේම ඒවා තරුවටත් සමීපයි. එය බ්‍රහස්පති වටා ඇති චන්ද්‍රයින් ආකාරයේ ගමනක යෙදෙනවා" මෙම නීරක්ෂණයට මූලික වී ඇති යැයි බෙල්ජියමේ ලීජ් විශ්වවිද්‍යාලයේ මයිකල් ගිලොන් පැවසීය.

"තරුව කුඩා සහ උණුසුමින් අඩු වුවත්, මේ ග්‍රහලෝක හතම උණුසුම් කිරීමට තරම් ශක්තිමත්. එහි අදහස වෙන්නේ ඒවායෙහි ද්‍රව ජලය පැවතීමේ ඉඩක් තිබෙන බවයි. සමහරවිට එහි මතුපිට යම් ජීවයක් වුවත් පැවතිය හැකියි." යනුවෙන් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

තරුවක් වටා මේ ආකාරයෙන් ග්‍රහ ලෝක 7ක් ගමන් කරන ආකාරය සොයාගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙන බව මෙම සොයා ගැනීමට මුල්වූ නාසා තාරකා විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති.

.



Recommended Articles