පිරිසිදු කිරීමේදී මේ ගැනත් සිතන්න


පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස හා ගොඩනැගිලි රැසක් ජලයෙන් යට විය. මේ හේතුව නිසා ජනජීවිතවලට මෙන්ම ගොඩනැගිලි, ගෘහභාණ්ඩ, විදුලි උපකරණ, රෙදිපිළි සහ වාහන ආදී දේපළ බොහොමයකට හානි සිදුවිය.ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යද්දී ක්‍රමක්‍රමයෙන් ජනතාව තමන්ගේ නිවෙස් කරා යළි පැමිණෙමින් සිටිති. නමුත් ඔවුන් මුහුණදෙන ප්‍රධාන ගැටලුව වන්නේ ගංවතුර සමග නිවෙස් තුළට ගලා ආ අපවිත්‍ර ජලයෙන් කිලිටි වී ගිය උපකරණ හා ගොඩනැගිලි පවිත්‍ර කිරීමය.

මෙම කටයුතු සඳහා රජය විසින් සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන් යොදවා තිබුණද තමන්ගේ නිවෙස් හා උපකරණ පවිත්‍ර කරන ඔබට අනුගමනය කළ හැකි උපදෙස් මාලාවක් මෙලෙස ඉදිරිපත් කරමු. ඉන් ඔබගේ සෞඛ්‍ය මෙන්ම දේපළද ආරක්ෂා කරගැනීමට හැකියාවක් ලැබෙනු නොඅනුමානය.

ළිං පිරිසුදු කරගැනීම සඳහා

ළිඳ කිලෝරිනීකරණයට ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේ උපදෙස් ලබාගන්න.

ළිඳ මෝටරයක් මගින් හෝ අතින් ඉස හොඳින් පිරිසුදු කරන්න.

ළිඳේ ඇතුලත බිත්තියද බුරුසුවක් ආධාරයෙන් අතුල්ලා හොඳින් පිරිසුදු කරන්න.

ඉන්පසු ළිඳට නැවත ජලය පිරෙන්නට හරින්න.

පිරිසිදු බාල්දියක් සහ කඹයක් භාවිතා කර ළිඳෙන් අලුත් වතුර බාල්දියක් ලබාගන්න.

බ්ලීච්න් කුඩු (TCL) පිරවූ මේස හැඳි දෙකක් වතුර බාල්දියේ හොඳින් දියකරන්න. බ්ලීචින් කුඩු (TCL) ඔබ ප්‍ර‘දේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ලබාගත හැක.

ක්ලෝරීන් මිශ්‍ර ජල බාල්දිය ළිඳ තුළට බස්සවන්න.

බාල්දිය ජලය තුළ ඉහළ පහළ කරමින් ක්ලෝරීන් හොඳින් මිශ්‍ර කරගන්න.
 විනාඩි 30කින් පසු ජලය භාවිතයට ගත හැක.

පියවර 5 සිට 9 දක්වා දිනපතා තුන්වරක් සිදුකරන්න.

නිවෙස් පිරිසුදු කරගැනීම සඳහා

නිවසට පිවිසීමට පෙර නිවසේ අනාරක්ෂිත තත්ත්වයන් ඇත්දැයි පරීක්ෂා කරන්න.

අනාරක්ෂිත තත්ත්ව - ගංවතුරෙන් හානිවීම නිසා තාප්ප, බිත්ති, වහල හෝ සිවිලිම කඩාවැටීමේ අවදානම, කඩා වැටුණු අනාරක්ෂිත විදුලි රැහැන්, ජලය කාන්දු වී ඇති විදුලි පේනු, අනතුරුදායක සතුන්

නිවස පිරිසුදු කිරීමේදී හැකි සෑම විටම අත්වැසුම් (ග්ලවුස්) පා ආවරණ (බූට්ස්) සහ මුව වැසුම් (මාස්ක්) වැනි පුද්ගල ආරක්ෂක උපාංග පලඳින්න.

නිවස තුළ රැඳී ඇති අපද්‍රව්‍ය නිවසින් ඉවත් කරන්න.

ගෘහභාණ්ඩ එක් තැනකට හෝ නිවසෙන් පිටතට ගන්න.

ජලයෙන් නිවසේ බිම සහ ජලයෙන් යටවූ මට්ටම් දක්වා බිත්තිවල මඩ ඉවත් කර හොඳින් අතුල්ලා සෝදා හරින්න.

ජල කරාමද හොඳින් සෝදා ඒවා සම්පූර්ණයෙන් විවෘත කර ජලය මද වේලාවක් ගලායාමට සලස්වන්න.

විෂබීජ නාෂක භාජනයේ සඳහන් උපදෙස් පරිදි සකස් කළ විෂබීජ නාශක ද්‍රාවණයකින් බිම මොප්  කර වියළීමට හරින්න. (බ්ලීචීන් කුඩු පිරවූ මේස හැඳි එකක් ලීටර පහක දියකර විෂ බීජ නාශක ද්‍රාවණයක් ලෙස භාවිතා කළ හැකිය.) පිරිසුදු කිරීමේ ද්‍රව්‍ය ඔබ ප්‍ර‘දේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ලබාගත හැක.

වැසිකිළියද හොඳින් සෝදාගන්න. වැසිකිළි වළ ඉතිරී යන්නේ නම් එය ගලිබවුසරයකින් ඉස හිස් කළ යුතුය.

වැසිකිළියද විෂබීජ නාශක ද්‍රාවණයකින් සෝදාගන්න.

ගෙවත්තේ ඇති අපද්‍රව්‍ය එක්රැස් කර පිරිසුදු කරගන්න. ජලය රැඳි මදුරුවන් බෝවෙන හිස් කෝප්ප, ටින් වැනි ස්ථාන ඉවත් කිරීම ගැන අවධානය යොමුකරන්න.

එක්රැස්කළ කුණු කසළ නිසිලෙස බැහැර කරන්න.

රෝගවලින් වැළකීම සඳහා 

මෙවැනි අවස්ථාවකදී බහුල වශයෙන් පාචනයමය තත්ත්වයන් ඇති වීම සුලභ නිසා සනීපාරක්ෂක කටයුතු නිසි පරිදි සිදුකිරීම වැදගත් වේ. ඒ සඳහා,
ආහාර ගැනීමට පෙර, ආහාර සැකසීමට පෙර, වැසිකිළි යෑමෙන් පසු දෑත් සබන් යොදා සෝදන්න.

මළපහ කිරීමට වැසිකිළි භාවිත කරන්න, කුඩා දරුවන්ගේ මළපහ වැසිකිළි වළටම දමන්න.

පලතුරු හා එළවළු හොඳින් සෝදන්න. හැකි සෑම විටම සෝදන්න. හැකි සෑම විටම සලාද හා අමුවෙන් ආහාරයට ගන්නා එළවළු ආහාරවලින් වැළකෙන්න.
බුබුළු නගින තුරු උතුරුවා නිවාගත් ජලය පාවිච්චි කරන්න.

අපවිත්‍ර ජලයේ බැස සිටීමෙන්, ගමන් කිරීමෙන් හැකිතාක් වැළකීම.

කැළිකසළ නියමිත ස්ථානවලට බැහැර කරන්න.

මදුරුවන් බෝවන ස්ථාන හැකිතාක් අවම කිරීමට කටයුතු යොදන්න.

ඇඳුම් පිරිසුදු කර ගැනීම සඳහා

මඩ ගතිය ඉවත්වන තුරු රෙදි පිරිසුදු ජලයෙන් සෝදා හරින්න.

සබන් කුඩු හෝ ඩිටර්ජන් වර්ගයක් යොදා පැය කිහිපයක් රෙදි හොඳින් පෙ‍ඟෙන්නට හරින්න.

ඉන්පසු හොඳින් අතුල්ලා සෝදා හරින්න.

අව්වේ වියළන්න.

සුදු රෙදි නම් සබන් යෙදීමට පෙර ක්ලෝරීන්වල පෙඟෙන්නට හැර සෝදාහරින්න.

තවදුරටත් රෙදිපිළි පවිත්‍ර කර ගැනීමට අවශ්‍යවේ නම් ලොන්ඩ්‍රි ආයතනයකට රෙදි පිරිසුදු කිරීමට භාරදිය හැකිය. නමුත් තෙත පිටින් ඇඳුම් හෝ රෙදිපිළි ලොන්ඩ්‍රි තුළට භාර නොගන්නා බැවින් ඒවාට භාරදීමට පෙර සෝදා වියළා ගැනීම සුදුසුය. 

ගොඩනැගිලි බිත්ති සඳහා

ගංවතුර නිසා නිවෙස් හා ගොඩනැගිලි බිත්ති දින කිහිපයක් ජලයට පෙඟීම හේතුවෙන් කල් ගතවෙත්ම බිත්තිවල පුස් පැල්ලම් ඇති වීම, තීන්ත පතුරු ලෙස ගැලවී යෑම වැනි තත්ත්ව ඇතිවිය හැකිය.

ඒ සඳහා ඇතුළු බිත්ති හොඳින් පිරිසුදු කර සති දෙක තුනක් හොඳින් වියළීමට තබා පොටි ඇද, එම පොටි වියළුණු පසු තීන්ත ආලේප කිරීම සිදුකළ හැකිය. 

පිටත බිත්ති සඳහාද එලෙසම පොටි ආලේප කර පිටත බිත්ති සඳහා නිර්දේශිත තීන්ත වර්ගයක් ආලේප කළ හැකිය.

ගොඩනැගිලි බිත්තිවලට සිදුවන මෙවන් හානි වළක්වාගැනීමට හැකි නිෂ්පාදන රැසක් වෙළෙඳ පොළේ පවතින බැවින් ඒ ඒ තත්ත්වයන්ට අදාළ වන ලෙස ආලේපන වර්ග භාවිතයට ගැනීමට හැකියාව ලැබේ. අවශ්‍ය වන්නේ තාක්ෂණික දැනුම සහිත ශිල්පීන්ගේ උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමයි.

ලී බඩු සඳහා 

ජලයේ දින කිහිපයක් පෙඟුණු ලී භාණ්ඩවල ශක්තිමත් බව අඩු වීම සිදු වේ. එසේම මෙම ලී භාණ්ඩවල සවිකිරීම් ගැලවී හෝ බුරුල් වී තිබිය හැකිය.

ලී බඩු හොඳින් විෂබීජ නාශක යොදා සෝදා වියළෙන්නට හරින්න. අදාළ පිරිසුදු කිරීමේ කටයුතුවලින් පසු දැව ආරක්ෂණ ආලේපන ගල්වන්න.

විදුලි බිඳවැටීම් සඳහා

නිවෙස්වල විදුලි රැහැන්ගත කිරීම්වලට ජලයෙන් හානි සිදු වී ඇති බැවින් ඒ පිළිබඳ වඩාත් අවධානය යොමුකළ යුතු වෙයි. විදුලි කාන්දු වීම් හේතුවෙන් අනතුරු ඇති විය හැකි නිසා ඒවා භාවිතයට පෙර පරීක්ෂා ක ගැනීම නුවණට හුරු වේ.

ඒ සඳහා විදුලිබල අමාත්‍යාංශයේ සහාය ලබාගත හැකි අතර 0113 030 303 අංකය ඇමතීමෙන් එම සේවාව ලබාගත හැකිය.

මේ වනවිට පීඩාවට පත් ජනතාවගේ නිවෙස්වල පිරිසුදු කටයුතු සිදුකරමින් පවතින බැවින් ඒ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හා සේදුම්කාරක දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ජනතාව වෙත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඒ හේතුවෙන් පිරිසුදු කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලැබී  නොමැති නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්ගෙන් ඒ පිළිබඳ විමසා අදාළ ද්‍රව්‍ය ලබාගත යුතු වෙයි. 

ස්තුතිය - සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රධාන සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරිනී ශ්‍රියානි ජයසුන්දර මහත්මියට, ජැට් ආයතනයේ තාක්ෂණ නිළධාරී චමිල ගම්මනගේ මහත්මයාට, ලොන්ඩ්‍රිමාට් ආයතනයට.



Recommended Articles