පාංශු කූලයක් - මීනී පෙට්ටියක් නොමැතිව අවසන් ගමන් යන මිනිසුන්


මිනී පෙට්ටියක් හෝ අවසන් ආගමික වතාවත් (පාංශු කූලයක් ) නොමැතිව අවසන් ගමන් යාමට සිදු වූ මිනිසුන් පිරිසක් පිළිබඳව අවාසනාවන්ත පුවතක් අයගම කොළඹෑව ගම්මානයෙන් වාර්තා විය.

රත්නපුරය  හා කළුතර දිස්ත්‍රික්ක වෙන් කරණ මායිම වූ කුකුලේ ගඟට මායිව තිබූ මුනින් කන්ද වත්ත නැමති ෆයිනස් වගා භූමියේ අක්කර දහයකට ආසන්න කදු කොටසක්  නාය යෑම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට අයත් අයගම ගම්මානයේ එකම පවුලේ සාමාජිකයින් හත් දෙනෙකු ඇතුළු අට දෙනෙක් නිවාස තුනක් සමගම අතුරුදන් වූහ.

දින කීපයක් පුරා යුධ හමුදා සෙබළුන්ගේ කැප වීමෙන් සිදුකල සෝදිසියෙන් මළ සිරුරු හතරක් පසුගියදා සොයා ගත් අතර ඊයේ (29දා) එහි විසූ මාවරකන්ද වතුකාරගේ ගුණවතී නම් 62 හැවිරිදි මාතාවගේ සිරුර හමු විය.

එම ප්‍රදේශයට ඇති සියලු පිවිසුම් මාර්ග අවහිරවීම නිසා දේහය තැන්පත් කිරීමට පෙට්ටියක් රැගෙන ඒමට නොහැකි වීමත් ඒ සඳහා මුදලක් වියදම් කිරීමට තරම් ශක්තියක් හෝ  කිසිදු පහසුකමක් ඉතිරිව සිටින ඥාතීන් සතුව නොමැති වීම නිසාත් ඉටි කොළයක ඔතා කුඩා වලක් තුල තැන්පත් කිරීමට සිදු විය.

එසේ අසරණ ලෙස මිහිදන් කෙරුණු  කාන්තාව වෙනුවෙන් ආගමික වතාවත් හෝ මතක වස්ත්‍ර පූජාවක් පවා සිදු කිරීමට ඥාතීන්ට නොහැකි වුයේ භික්ෂුන් වහන්සේ නමක් එම ප්‍රදේශයට වැඩමවා ගැනීම ඉතාමත් අපහසු වීම නිසාත්ය.

මතුගම බන්දු තඹවිට

1 2 3 4 5 6 7



Recommended Articles