ප්‍රංශයේ නීස් ත්‍රස්ත ප්‍රහාරය IS ඉස්ලාම් රාජ්‍ය භාරගනී


(UPDATE) ප්‍රංශයේ නීස් නගරයේදී ජීවිත 84ක් බිලි ගනිමින්, එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය නිල වශයෙන් භාරගෙන තිබේ.

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නිල මාධ්‍ය ජාලය විසින් එම ත්‍රස්ත සංවිධානයේ නිල නිවේදනය අන්තර්ජාලය තුළ ප්‍රකාශයට පත් කරමින් මොහොමඩ් ලහොඒඉජ් බුල්ලා නමැති ප්‍රංශ-ටියුනීසියානු ජාතිකයා යොදාගෙන සිදුකළ අති බිහිසුණු ට්‍රක් රථ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම මෙසේ භාරගෙන තිබුණේ, ප්‍රහාරයෙන් දින දෙකකට පසුවය.

එමෙන්ම, මෙම ප්‍රහාරය සිදුකළ මොහොමඩ් ලහොඒඉජ් බුල්ලා IS ඉස්ලාම් රාජ්‍යයේ සොල්දාදුවෙකු බවද එම නිවේදනයේ දක්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේදී ප්‍රංශයේ ජාතික දිනය නිමිත්තෙන් නීස් හිදී පැවති උත්සවයක් අවස්ථාවේදී 31 හැවිරිදි මොහොමඩ් ලහොඒඉජ් බුල්ලා උත්සවයට සහභාගී වී සිටි ජනතාව මතින් ටොන් 19ක් බර දැවැන්ත ට්‍රක් රථයක් පදවාගෙන යමින් සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයෙන් 84 දෙනෙකු ජීවිතක්ෂයට පත්වන විට 200කට වැඩි පිරිසක් තුවාල ලැබීය. එහිදී, තුවාලකරුවන්ගෙන් 52 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, ඉන් 25 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකර ලබන බවත් පැවසුණි. එමෙන්ම, මියගිය පිරිස අතරින් 10 දෙනෙකු බිළිඳුන් හා කුඩා දරුවන් බවද සඳහන් කෙරිණි.

මෙම ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී එහි වගකීම කිසිවෙකු විසින් භාර නොගත්තද, එම ප්‍රහාරය සිදුවූ ආකාරය හා එහි සාක්ෂි සලකුණුවලින් මුල සිටම එය IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් හෝ ඒ හා සබැඳි ජිහාඩ් අන්තවාදීන්ගේ ක්‍රියාවක් බව ප්‍රංශ අභිචෝක පවා කියා තිබුණි.

කෙසේ වෙතත්, මේ සමගම ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් 5 දෙනෙකු අද (16දා) අත්අඩංගුවට ගත් බව ප්‍රංශ බලධාරීහු පවසති. ඉන් එක් අයෙකු ප්‍රහාරකයාගේ කලින් බිරිඳ බවත්, අනෙක් සිවුදෙනා පුරුෂයන් සිව්දෙනෙකු බවත් බලධාරීහු පවසති.

මාස 18ක කාලයක් තුළ ප්‍රංශය වෙත එල්ල වූ තෙවැනි බිහිසුණුම ත්‍රස්ත ප්‍රහාරය වචනයෙන් විස්තර කළ නොහැකි මහා අපරාධයක් බව ප්‍රංශ ජනපති ප්‍රංශුවා හොලන්දේ ජාතිය අමතමින් පවසා සිටියේය.

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් තම සෙබලා ලෙස නම් කළ මොහොමඩ් ලහොඒඉජ් බුල්ලා

ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමක් සිදුවූ අවස්ථාව

IS ඉස්ලාම් රාජ්‍ය ම්ලේච්ඡත්වයට ගොදුරු වූ කුඩා දරුවන්ගෙන් පිරිසක්

ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වේදනාව ලොව ප්‍රකට ස්මාරක හා මිනිසුන් බෙදාගත් දසුන්


(5.20PM - 15 July) ප්‍රංශයේ නීස් නගරයට එල්ල වූ ට්‍රක් රථ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින්වත් භාරගෙන නැතත්, එම ප්‍රහාරය පසුපස IS ඉස්ලාම් රාජ්‍යයේ හෝ ඒ හා සම්බන්ධ ජිහාඩ් ත්‍රස්තවාදයේ සාක්ෂි සලකුණු ඇති බව ප්‍රංශ අභිචෝදක පෙන්වා දෙයි.

පසුගිය 14 වැනිදා රාත්‍රී 10.30ත්, 11.00ත් අතර කාලයේ නීස් නගරයේ පැවති ප්‍රංශ ජාතික දින උත්සව සැමරුමක් අවස්ථාවේදී සිදුවූ මෙම ම්ලේච්ඡ ප්‍රහාර සිදුකළ තැනැත්තා නීස් නගරයේම පදිංචිව සිටි 31 හැවිරිදි ප්‍රංශ-ටියුනීසියානු ජාතික මොහොමඩ් ලහොඒඉජ් බුල්ලා ලෙස හඳුනාගෙන තිබේ.

මෙම ප්‍රහාරයෙන් 84 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලබා ඇති පිරිස 202ක් බව විදෙස් වාර්තා පවසයි. එම තුවාලකරුවන්ගෙන් 52 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, ඉන් 25 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකර ලබන බවත් කියැවෙයි. එමෙන්ම, මියගිය පිරිස අතරින් 10 දෙනෙකු බිළිඳුන් හා කුඩා දරුවන් බවද විදෙස් වාර්තා දක්වයි.

මේ කුරිරු ප්‍රහාරය හමුවේ ප්‍රංශය කඳුළු සලන බව එරට ජනපති ප්‍රංශුවා හොලන්දේ පවසා සිටියේය. එමෙන්ම, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු අවධාරණය කළේය.


(9.10AM - 15 July) ප්‍රංශයට එල්ල වූ ට්‍රක් රථ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස 84ක් බවත්, සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස 50 ඉක්මවන බවත් ප්‍රංශ පුවත් සේවය පවසයි.

එරට වේලාවෙන් ඊයේ (14දා) රාත්‍රී 11.00 ට පමණ සිදුව ඇති මෙම ක්‍රෑර මනුෂ්‍ය සංහාරයේදී තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද කියැවෙයි.

සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව, වීදියේ සිටි ජනතාව ට්‍රක් රථයේ වැදී වීසිවී ගිය බවත්, ජනතාවගේ මහා විලාපය මැද මෙම ට්‍රක්රථ රියදුරා සැතපුමක් පමණ දුරක් ජනතාව මතින් ට්‍රක් රථය ධාවනය කර ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

ඔහු පසුව ජනතාව වෙත විවෘත වෙඩි ප්‍රහාරයක්ද එල්ල කරමින් 'අල්ලාහු අක්බර්' යනුවෙන් කෑ මොර දී ඇත්තේ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමට පෙරය.

මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් මෙතෙක් භාරගෙන නොතිබුණද, IS ඉස්ලාම් රාජ්‍ය මෙය සමරණ බවට තොරතුරු පවතින බවත්, මීට පෙර ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මෙන්ම, ආසන්න කාලයේදී ලොව පුරා එල්ල වූ මහා මනුෂ්‍ය සංහාරයන් මෙන්ම, මෙම ප්‍රහාරයේ ස්වභාවය සලකා බැලීමේදී, මෙයද ඒ ම්ලේ්ච්ඡ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ක්‍රියාවක් විය හැකි බව විදෙස් වර්තා වැඩිදුරටත් පවසයි.


(8.05AM - 15 July) මෙම ත්‍රස්ත ප්‍රහාරය සඳහා ප්‍රහාරකයන් දෙදෙනෙකු පැමිණ ඇති බවටද විශ්වාස කෙරෙන අතර, එක් අයෙකු රථය ජනතාව මතින් ධාවනය කිරීමෙන් පසු ඉන් ඉවතට පැන විවෘත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේදී, පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවද කියැවෙයි.

එමෙන්ම, තවත් ප්‍රහාරකයෙකු සිද්ධිය වූ ස්ථානයෙන් පළාගොස් ඇති බවද විශ්වාස කෙරෙන අතර, ඔහු අල්ලා ගැනීමේ මෙහෙයුම් සිදුවන බවත් කියැවෙයි.

කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් පසුව ජාතිය ඇමතූ ප්‍රංශ ජනපති ප්‍රංශුවා හොලන්දේ පවසා සිටියේ මෙය නිසැකයෙන්ම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් බවය.

එහෙතම වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ පිරිස අතර කුඩා දරුවන්ද සිටින බවය. තුවාල ලැබූවන්ගෙන් 20කට වැඩි පිරිසකගේ තත්ත්වය බරපතල බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.

සමස්ත ප්‍රංශයම ඉස්ලාම් ත්‍රස්තවාදයේ තර්ජනයට ලක්ව ඇති බවද හොලන්දේ ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ට්‍රක් රථයේ තිබූ ලියවිලිවලින් 31 හැවිරිදි ප්‍රංශ-ටියුනීසියානු ජාතිකයෙකු පිළිබඳ තොරතුරු පවතින බව ප්‍රංශ ආරක්ෂක අංශ පවසයි. කෙසේ වෙතත්, ට්‍රක් රථ රියදුරා හඳුනාගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ කෙරෙන බවද පැවසෙයි.

ප්‍රති-ත්‍රස්ත හමුදා බලකාය මේ වනවිට නීස් නගරයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර, නගරවැසියන්ට නිවෙස්වලින් බැහැරට නොගොස් රැඳී සිටින ලෙස දන්වා තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එරට පණවා තිබූ හදිසි නීතිය අවසන් වීමට නියමිතව තිබුණත්, මෙම ප්‍රහාරයෙන් පසුව එය තවදුරටත් මාස තුනිකින් දීර්ඝ කිරීමටද උපදෙස් ලබා දී තිබුණි.


(6.20AM - 15 July) දකුණුදිග ප්‍රංශයේ නීස් හි පැවති උත්සවයකදී ට්‍රක් රථයක් ජනතාව යට කරමින් ධාවනය කරවීම නිසා පුද්ගලයන් 75කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවත් ප්‍රංශ බලධාරීහු පවසති.

ප්‍රංශයේ සුවිශේෂී නිවාඩු දිනයක් ලෙස සැලකෙන බැස්ටයිල් සැමරුම නැරඹීමට පැමිණි ජනතාව ගිණිකෙළි සංදර්ශනය නරඹමින් එහාමෙහා ගමන් කරමින් සිටියදී, මෙම ට්‍රක් රථයේ රියදුරා එහි වේගය වැඩි කරමින් වීදියේ සිටි විශාල ජනකාය මතින් ඉතා අමානුෂික ලෙස එය ධාවනය කර ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

කෙසේ වෙතත්, ප්‍රංශ පොලීසිය විසින් එහි රියදුරා වෙඩි තබා ඝාතනය කරමින් සිදුවීමට ගිය තවත් මනුෂ්‍ය සංහාරය වළක්වාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

එම ට්‍රක් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී, ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇති බවත්, මෙය සැලසුම්සහගත ත්‍රස්ත ප්‍රහාරයක් බවත් ප්‍රංශ බලධාරීහු පවසති.



Recommended Articles