ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් නොසිටියා නම්, තම පවුලටම මහමග හිඟාකෑමට වන බව දරුවන් සිවුදෙනෙකුගේ මවක වූ දැනට අංශභාගය රෝගය සෑදී ඔත්පොලව සිටින දවුලගල හන්දෙස්සේ පදිංචි ශාමා ගීතාංජලී (අවු.37) මහත්මිය පවසයි.
අංක 220/2, දිග්ගල වත්ත, හපුගහයට තැන්න, දවුලගල, හන්දෙස්ස පදිංචි ශාමා ගීතාංජලී දරුවන් සිවුදෙනෙකුගේ මවක වන අතර, විවාහ වීමට ප්‍රථම කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.
විවාහයෙන් පසු දවුලගල ස්වාමියාගේ නිවසට පදිංචියට පැමිණ ඇත. වසර කිහිපයක් ගතවන විට දූවරුන් සිවුදෙනෙකු ඔවුන්ට ලැබී ඇති අතර, දරුවන් සියලු දෙනාම දූවරුන් බැවින් නීත්‍යනුකූලව පිරිමි දරුවෙකු සාදාගැනීම සඳහා අසරණ පවුලකින් ලබාගෙන ඇත.
මෙලෙස තම ස්වාමියා සමග කාලය ගතකරන විට දරුවන්ගේ මවට අංශභාගය රෝගය වැලඳීමෙන් එක් අතක් සහ කකුලක් අප්‍රාණික වීමෙන් එක්තැන් වී තිබේ.
ඉන්පසු තම පවුලට ආදරයෙන් සිටි ස්වාමියා දරුවන් 05 දෙනා අතහැර දමා වෙනත් කාන්තාවක සමග ගොස් ඇති බව ඇය පවසයි. මේ සම්බන්ධව දවුලගල පොලීසියේද පැමිණිල්ලක් කර ඇති බවත්, මේ දක්වා කිසිදු වන්දි මුදලක් ස්වාමියා විසින් ලබා නොදෙන බවද ඇය පවසා සිටියාය.
තම ස්වාමියාගේ නිවසේ ජිවත් වන ඇය ඇතුළු පවුලේ දරුවන් 05 දෙනා සමග ස්වාමියාගේ මව වන වයස 70ක් පමණ වන සීලවතී මහත්මියද සිටිති.
ඇයටද කුලියක් කරගැනීමටද නොහැකි තත්ත්වයකින් සිටින නිසා තම සහෝදරයන් හා අසල්වැසියන්ගෙන් ලැබුණු ආහාරවලින් ජීවිතය ගැටගසා ගත්තද, දරුවන්ට ඉගැන්වීමට ක්‍රමයක් නොමැති බව තම සිතට දැනුණු විට දරුවන් සමග ජීවිතය පවා නැතිකර ගැනීමට සිතුණු වාර අනන්ත බව දරුවන්ගේ මව වන ශාමා ගීතාංජලී මහත්මිය පැවසීය.
මෙලෙස දිනෙන් දින කාලය ගතවන විට ගමේ විහාරයේ ලොකු හාමුදුරුවන්ගෙන් ලද පණිවුඩයකට අනුව නිවසේ සිටින මිත්තණිය දවුලගල හන්දෙස්ස හපුගහයට තැන්න ශ්‍රී ශෙලතලාරාම විහාරස්ථානයේ විහාරාධිපති දෙයියන්නෙවල පියරතන නායක හිමියන් හමුවී ඇත.
මිත්තණිය අප සමග පැවසුවේ, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිසි විටක අඩාල නොකරන ලෙසටත්, විහාරයට ලැබෙන ආහාර පාන හැකි අයුරින් දිනපතා ලබාදෙන බවටත්, දානය නොලබෙන අවස්ථාවලදී ආහාරපාන ගැනීම සඳහා මුදල් ලබාදෙන බවටත්, දරුවන්ට අධ්‍යාපනය ලබාදී දරුවන් නිසිමගට ගැනීමට කැපවෙන්නේ නම්, උදවු කිරීමට හැකි බවටත් නායක හිමියන් පැවැසූ බවයි.
ඇය වැඩිදුරටත් පැවසුවේ, තම ලේලියට අංශභාගය රෝගය සෑදුණු පසු තම පුතු වෙනත් කාන්තාවක සමග ගොස් ඇති බවත්, දරුවන් හා ලේලිය තම නිවසේ සිට ජීවත් කරවීමට ගමේ විහාරයේ නායක හිමියන් මේ වනවිට වසර එකහමාරක් පමණ විහාරයට ලැබෙන ආහාර මුදල් තමන්ට ලබාදෙන බවත්ය.
මේ සම්බන්ධව අදහස් දැක්වූ දවුලගල හන්දෙස්ස හපුගහයටතැන්න ශ්‍රී ශෙලතලාරාම විහාරස්ථානයේ විහාරාධිපති දෙයියන්නෙවල පියරතන නායක හිමියෝ,
''මේ අපේ පන්සලේ දායක පවුල ගොඩාක් සමගියෙන් හිටියා. පිරිමි දරුවෙක් නැහැ කියල දරුවෙකුත් අරගෙන හදාගත්තා. දැන් වසර එකහමාරකට විතර ඉහතදී දායක මහත්මියට අංශභාගය රෝගය හැදිල අතකුයි කකුලකුයි පණනැති වුණා. ඔය අතරේ දායක මහත්මියගේ ස්වාමියා දරුවන් 04 දෙනා දාලා වෙනත් කාන්තාවක් එක්ක ගිහින් කියලා දැනගන්න ලැබුණා.
දරුවන්ට හරියට කන්න බොන්න නැහැ. දරුවන් පාසල් යන්නෙ නැහැ කියලා මට දැනගන්න ලැබුණා. මම එයාලව පන්සලට ගෙනැල්ලා උපදෙස් දුන්නා, පන්සලට ලැබෙන දානෙ දෙන්නම් ඔයාලට ජීවත් වෙන්න, දරුවන්ගෙ අධ්‍යපන කටයුතු නවත්වන්න එපා කියලා.
මමත් පිරිවෙන් ගුරුවරයෙක්. දැන් විශ්‍රාම ගිහිල්ල ඉන්නෙ. මගේ විහාරයෙත් කුඩා සාමනේර හිමිවරු 05ක් විතර වැඩ ඉන්නවා. තවත් පිරිවෙනේ ඉගෙන ගන්න දරුවන් 04ක් විතර ඉන්නවා. ඒ අය ජීවත් කරවන්නෙ අධ්‍යාපනයට අවශ්‍ය දේවල් ගන්නෙ මට ලැබෙන විශ්‍රාම මුදලෙන්. මම ඒ කටයුතු කරන ගමන් අර පවුලටත් මාසෙකට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙනැල්ල දෙනවා. උදවු කරනවා. ඒ දරුවනුත් අධ්‍යාපනයෙන් හොඳ තැනකට ඇවිත් ගතකරයි කියන බලාපොරොත්තුවකින් තමයි මම උදව් කරන්නෙ'' යැයි පැවසූහ.