දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් විසිදෙනෙකුගේ පමණ ශරීරයේ අභ්‍යන්තරයේ ජීවත්වූ පණුවන් විශේෂයක් මේ වනවිට සැත්කම් මගින් ඉවත් කර ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍යවරු පවසති.
මෙම රෝගී තත්ත්වය නිසා දඹුල්ල ප්‍ර දේශ වාසීන්ද දැඩි නොසන්සුන් තත්ත්වයට පත්ව ඇතැයිද වාර්තාවේ.
මේ ආකාරයට කුඩා දරුවන් දෙදෙනෙකුගේ ශරීර අභ්‍යන්තරයේ සිටි පණුවන් ඉවත් කිරීමේ සාර්ථක ශල්‍යකර්මයක් අද (26දා) විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබීය.
මේ වසර තුළ පුද්ගලයන් විසි දෙනෙකුට පමණ මෙලෙස සැත්කම් සිදුකර ශරීර අභ්‍යන්තරයේ සිටි පණුවන් ඉවත් කළ බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා සඳහන් කළේය.
මෙලෙස ශරීරගතවන පණුවන් අඟල් 03 සිට අඟල් 05 දක්වා දිගින් යුතු වන සුදු පැහැති පණු විශේෂයක් බව වෛද්‍යවරු පෙන්වා දෙති.
ශරීරයේ විවිධ ස්ථානවල අභ්‍යන්තරයේ කෝෂ සාදාගෙන මෙම පණුවන් ජීවත්වන බව පරීක්ෂණවලදී හෙළිව තිබේ.විශේෂයෙන් කුඩා දරුවන් මෙම පණු විශේෂයට ගොදුරු වී ඇතැයි වෛද්‍යවරු සඳහන් කරති.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා සඳහන් කර සිටියේ, ගෘහස්ථ සතුන්ගෙන් මෙම පණු විශේෂය බොහෝ දුරට ශරීරගත විය හැකි බවත්, මදුරු විශේෂයක් මගින් මෙම පණුවා ශරීරගත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත්ය.
එම මදුරු විශේෂය බීජ මගින් ශරීරයට පණුවන්ට ඇතුළත් කිරීම සිදුකරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
කාන්තා හා පිරිමි භේදයකින් තොරව මෙවැනි රෝගීන් හමුවී තිබෙන බවත්, ලෝකයේ රටවල් ගණනාවකින් මෙවැනි සිද්ධීන් වාර්තා වී තිබෙන අතර,මෙරට පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ශරීරවල මේ ආකාරයෙන් පණුවන් ජීවත්ව තිබෙන බවට වාර්තා වී ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
එහෙත් පණුවන් ශරීරගත වී ඇති රෝගීන් දිගින්දිගටම දඹුල්ල රෝහලෙන් වාර්තා වීමබරපතළ ප්‍රශ්නයක් බව වෛද්‍යවරු පවසති.
මෙම පණු විශේෂය ශරීරයට ඇතුළු වන ආකාරය, ඔවුන් ජීවත් වන කාලසීමාව පිළිබඳ හාඑම සතුන් බෝවන ආකාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ශරීරවලින් ඉවත් කෙරුණු පණුවන් සහ පණුවන් ජීවත් වූ ශරීර අභ්‍යන්තරයේ තිබූ කෝෂ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යැවූ බව වෛද්‍ය අර්ථනායක මහතා සඳහන් කෙළේය.
බොහෝ දුරට සම මතුපිටින් ගැටිති මතු වීමෙන් මෙම පණුගෙඩි අනාවරණය කරගැනීමට හැකියාව පැවතියද, ශරීර අභ්‍යන්තරයේ මේ ආකාරයෙන් පණු විශේෂය රැඳී සිටියහොත් එක්වරම හඳුනා ගැනීමට නොහැකි අවදානම් තත්ත්වයක් පවතින බවද වෛද්‍යවරු පවසති.
එක්වරම මෙවැනි රෝගීන් පිරිසක් දඹුල්ලෙන් වාර්තා වීම පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමටද තම වෛද්‍ය කණ්ඩායම ඉදිරියේදී බලාපොරොත්තු වන බවද අර්ථනායක මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.
දඹුල්ල, හබරණ, ගලේවෙල හා සීගිරිය ආදී ප්‍රදේශවලින් මෙම රෝගීන් බහුලව වාර්තා වන බව වෛද්‍යවරු ප්‍රකාශ කරති.