නිර්මාණකරණය හා දේශන කලාව සිවුරත් එක්ක ගැටගැහුණු ආත්මීය බැඳීමක්


ධම්මසාර හිමියෝ ප්‍රවීණ සිංහල දේශකවරයෙකි. ග්‍රන්ථ කතුවරයෙකි. ගේය පද රචකයෙකි. එමෙන්ම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල හා ප්‍රත්‍යන්ත ප්‍රදේශවලද ප්‍රකට සිංහල දේශකවරයෙකි. අද කතාබහ දිගහැරෙනුයේ උන්වහන්සේ සමගිනි.

නිර්මාණ දිවිය...

මුලින්ම අලුත් දවසක් නමින් කෙටිකතා සංග්‍රහයක් ඔස්සේ මගේ නිර්මාණ දිවිය ඇරඹූ මම එය මීට පෙර පොත් ප්‍රදර්ශනයට පවා ඉදිරිපත් කළා. අනතුරුව මා රචනා කළ 'නෙතගින් බලා' ගීතයක් සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ ගායකයෙකු විසින් ගායනා කළා. එපමණක් නොවෙයි %මා ළඟට එන්න^ නම් වූ ගීතය චාමර හපන්ගම විසින් සංගීතවත්කොට ඉඳුනිල් සින්දු විසින් ගායනා කළා. එම නිර්මාණ ක්‍රියාවලියෙන් පසුව මේ වන විට නවතම නිර්මාණ එකතුවක් එළිදක්වන්නත් අදහසක් තිබෙනවා. එමෙන්ම කෙටිකතා සංග්‍රහයක්ද එළිදැක්වීමට නියමිතයි.

දරුවනට වැදෑරූ හෙළකුරු

මේ දිනවල අලුතෙන් කෘති කිහිපයක් රචනා කළා. එය මා සිදුකරන්නේ ඉඳුනිල් සින්දු නම් වූ ලේඛකයා සමගිනුයි. අප දෙදෙනා මීට පෙරත් කෘති කිහිපයක් රචනාකර තිබෙනවා. එහි අලුත්ම කෘති කිහිපයයි මේ දිනවල එළිදකින්නේ. එය ප්‍රකාශනය කරන්නේ බෙලිගල්ලේ ධම්මජෝති පුස්තකාලය මගිනුයි. උසස් පෙළ විභාගය ලියල ඉවරවෙලා කොළඹ විශ්වවිද්‍යාලයට යන්න බලාගෙන ඉන්නකොට ඒ කාලය තුළ හය, හත, අට සිංහල පන්තියක් පටන්ගත්තා පන්නිපිටියෙ විද්‍යාලංකාර පිරිවෙනේ.

එතැනින් පසුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පසුව හෝමාගමින් තමයි දහය එකොළහ පන්ති ආරම්භ කළේ. ආරම්භය එහෙමයි සිදුවන්නේ. එය වැඩිදියුණු වෙන්නේ විශ්වවිද්‍යාලයට ගියාට පස්සෙ. විශ්වවිද්‍යාලයේ ඒ ලබන ප්‍රවීණත්වයත් එක්ක දීපව්‍යාප්තව නගර කිහිපයක ටියුෂන් කටයුතු ආරම්භ කළා. විෂයයට තියෙන ඇල්මත් ප්‍රවීණත්වයත් එක්ක එක නගරයක සිට නගර කිහිපයකට සංක්‍රමණය වෙන්න පුළුවන් වුණා. පාසල් පද්ධතිය තුළ මේ විෂය ඉගැන්වීම නිවැරදි ක්‍රමයකට වෙන්නෙ නෑ කියන මතවාදය හා පන්ති කාමරය තුළ ළමයාට උගන්වන්න පුළුවන්ය කියන මතවාදයත් එක්ක තමයි මෙය ව්‍යාප්ත වෙන්නෙ.

සාහිත්‍යයට ළං කළ දරුවෝ

මූලිකම දේ තමයි පොදුවේ පාසල් පද්ධතිය තුළ සිංහල භාෂාව හා සාහිත්‍යය 10 -11 දරුවන්‍ට උගන්වන විට විෂයයෙන් ළමයි ඈත්වෙන්න, එම විෂයයට ප්‍රිය නොකරන්න හා විභාගයට ඉදිරිපත් වුණාම එහි ප්‍රතිඵලය අසමත් වෙන්න හේතු මොනවාදැයි යන්න මම තනිවම අධ්‍යයනය කළා. එලෙස සොයා බලා මටම ගැළපෙන විදියට අනන්‍යතාවක් ගොඩනගා ගත්තා. ඒ අනන්‍යතාව ඔස්සේ මං ළමයාට ආකර්ෂණය වන විදියට ව්‍යාකරණය හා සාහිත්‍යය දෙකම මනසට කාවද්දන්න අලුත් ක්‍රමයක් සොයාගත්තා.

එලෙසින් තමයි මේ  ක්ෂේත්‍රය ‍තුළ මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ. අංක එක ඒක. ඒකට අදාළව තමයි පසුකාලීනව ප්‍රචාරණ කටයුතු. අංක එක ප්‍රචාරණය නෙවෙයි මං උගන්නන ක්‍රමවේදයට ප්‍රචාරණයට ළමයි අනුගත වීම,  දෙමාපියන්ගේ කැමැත්ත, වාර්ෂිකව ළමයින්ගේ ප්‍රතිඵල ඉහළ යාම,දේශකවරයෙක් පමණක් නොවී ලේඛකයෙක්  ලෙස රටේ ජනප්‍රිය වී සිටීම, විෂයානුබද්ධ කෘති 30 ක් පමණ රචනා කිරීම, එය තමයි ඉගැන්වීම. අතීතයේ ඉඳන්ම භාෂා සාහිත්‍යය තුළ ගුරුවරුන් බවට පත්වුණේ භික්ෂූන් වහන්සේලා. කෝට්ටේ සාහිත්‍ය යුගය තුළ රාහුල හාමුදුරුවන්ට සමකළ හැකි සාහිත්‍යකරුවෙක් හිටියෙ නෑ.

අතීතයේ සිටම සිංහල භාෂාව තුළ භික්ෂුවකට තිබෙන අනන්‍යතාව තමයි ඒ තරගකාරීත්වයට ගැටෙන්න පුළුවන් වීම. ඒකට කිසිදු අභියෝගයක් නෑ. එය සිවුරත් එක්ක බද්ධවෙලා තියෙන දෙයක්. තමන් ඒ විෂයට ප්‍රවීණත්වයක් දක්වනවා නම් ඔහු සමග ගැටීමට හැකියාවක් නෑ. භික්ෂුව මත අධ්‍යාපනය තීරණය කිරීම අවසන් යැයි ඔබ පවසන යුගයක පවා දැවැන්ත සිසු පිරිසකට ඉගැන්වීමට ලැබීම භාග්‍යයක්. මෙවන් යුගයක මා දහස් ගණනකට උගන්වා තිබීම මා ලද ජයග්‍රහණයක්.

 

0777 409232 

 



Recommended Articles