නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ දළ කෙටුම්පතක් හෝ සම්පාදනය කරන්නේ නම්, ඒ පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරමින් උන්වහන්සේලාගේද අදහස් සහ යෝජනා ලබාගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ, මහා නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය සමග අද (06දා) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති හමුවකදීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කිසිදු අවසන් ලියවිල්ලක් මෙතෙක් සකස් කර නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදයක් අද රට තුළ මතුව තිබුණද, රජය එවැන්නක් කෙටුම්පත් කරන්නේ නම්, එය රටේ අනාගතය සහ ස්ථාවරත්වය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරමින් සිදුකරන්නක් බවද සඳහන් කළේය.
රටේ දේශපාලන, සමාජ, ආර්ථික හා ආගමික කරුණු රැසක් පිළිබඳවද මෙම හමුවේදී මහා සංඝරත්නය සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ අතර, ඊට අදාළ යෝජනාවලියක්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි.
මේ සාකච්ඡාවට සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන්, අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමියන්, රාමඤ්ඤ මහා නිකායේ මහානායක නපාන පේමසිරි මහා නාහිමියන් ප්‍රමුඛ අනුනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය විශල පිරිසක් වැඩම කළහ.