දුරස්ථ පාලකයකින් ත්‍රිරෝද රිය ධාවනය කරන චමින්ද


දුරස්ථ පාලකයක් යොදාගෙන ත්‍රිරෝද රථයක් ධාවනය කරවීමට නුවරඑළිය, කළුකැලේ පදිංචි ඩී.එච්. චමින්ද රුවන් කුමාර මහතා සමත්ව තිබේ.

කුඩා කාලයේ සිටම කාර්මික අංශයට හිත යොමුකර ඇති ඔහු සිය උත්සාහයෙන්ම විවිධ පර්යේෂණ රැසක් සිදුකර මෙම දුරස්ථ පාලන උපකරණය සකසා තිබේ. මොටර් රථ අලුත්වැඩියා කරනු ලබන ස්ථානවලින් ඉවතලන උපකරණ හා මුදල්වලට ලබාගත් කොටස්වලින් ත්‍රිරෝද රථ ධාවනය කිරීම සඳහා දුරස්ථ පාලන උපකරණ කට්ටලය සැකසීමට හෙතෙම කටයුතු කර තිබේ.

ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ පුද්ගලයන් තිදෙනෙකු හිඳුවා ත්‍රිරෝද රථය පණ ගන්වා ධාවනය කර පෙන්වීමට ඔහු පියවර ගත් අතර, එය රියදුරෙකු රැගෙන යන පරිද්දෙන් මනා ලෙස ධාවනය විය. ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ වාඩිවී ඕනෑම දුරක් මෙම දුරස්ථ පාලකය මගින් ත්‍රිරෝද රථය තමාට රැගෙන යා හැකි බවද ඔහු පවසා සිටියේය.

ඉදිරි දින කිහිපය තුළ ත්‍රිරෝද රථය පිටුපසට ධාවනය කරවීමට හැකි දුරස්ථ පාලකයක් තැනීමට හා වැඩ පහසු කිරීමේ විවිධ උපකරණ කිහිපයක් නිපදවීමට තමන් පියවර ගෙන ඇති බවද චමින්ද කුමාර මහතා පැවසීය.

තමන් සැකසූ මෙම දුරස්ථපාලක උපකරණය ජංගම දුරකථනය භාවිත කරමින් හැසිරවීමට හැකියාව ඇති බවත්, ඉදිරියේදී එය වැඩිදියුණු කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම පවසා සිටියේය.

තමන් මෙම කටයුතු සිදුකර ගෙන යනු ලබන්නේ ආර්ථික අපහසුතා මැද බවත්, කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් අනුග්‍රහය දක්වන්නේ නම්, දුරස්ථ පාලන උපකරණ කට්ටලය මෙන්ම තමන් දැනට සැලසුම් කර තිබෙන වැඩ පහසු කිරීමේ උපකරණ වැඩිදියුණු කර ඉතා උසස් මට්ටමින් නිෂ්පාදනය කිරීමට හැකි බවත් ඔහු පැවසීය.

මේ පිළිබඳ වැඩි විස්තර 076-4283060 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

DSC06669 copy DSC06677 copy  

DSC06696 copy DSC06702 copy

ශානු හුලංනුගේ 



Recommended Articles