ඩකා අගනුවරදී IS ත්‍රස්තයන් විදේශිකයන් 20ක් බිලි ගනී


බංග්ලාදේශයේ, ඩකා අගනුවර එල්ල වූ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයෙන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් 20 ක් විදේශිකයන් බව වාර්තා වේ.

මෙසේ මියගිය විදේශිකයන් විසිදෙනා රාත්‍රී ආහාරය ලබාගැනීමට අවන්හල වෙත පැමිණි අය වන අතර, සෙසු දෙදෙනා ප්‍රහාරය මැඬපැවැත්වීමට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකි.

ඊයේ (01දා) රාත්‍රියේදී මෙම ඉස්ලාමීය අන්තවාදීන් ඩාකා නුවර හෝලි ආටිසන් බේකරි නමැති අවන්හල වෙත ඇතුළු වී තිබුණේ, එරට තුළ පසුගිය කාලය පුරාවට සිදුවූ සුළුතර ආගමිකයන්, ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන් ආදී පිරිස් අමානුෂික ලෙස මරාදැමෙන වටපිටාවක් තුළය.

ඩකා නුවර මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කිරීම සඳහා ත්‍රස්තවාදීන් ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය මෙන්ම මන්නා හා පිහි ආදී අවි ආයුධද භාවිත කර තිබූ බව බංග්ලාදේශ ආරක්ෂක අංශ පවසයි.

ඊයේ රාත්‍රියේදී අවන්හලට ඇතුළු වී ඒ තුළ සිටි පිරිස ප්‍රාණ ඇපයට ගත් ත්‍රස්තවාදීන් බේරාගැනීම සඳහා පොලීසිය හා ආරක්ෂක අංශ ත්‍රස්තවාදීන් සමග යම් සාකච්ඡාවක නිරතව තිබුණි. කෙසේ වෙතත්, ඉන් ත්‍රස්තයන් සෑහීමකට පත් නොවීම තුළ පැය 13කට පමණ පසුව ඔවුන් මුදාගැනීම සඳහා හමුදා මෙහෙයුම් අද උදෑසන ක්‍රියාත්මක විය.

එහිදී, පුද්ගලයන් 14 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට ආරක්ෂක අංශ සමත්වූ අතර, එසේ බේරාගත් අය අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුද සිටින බව විදෙස් වාර්තා පවසයි. මෙම මෙහෙයුමේදී ත්‍රස්තවාදීන් 6 දෙනෙකු හමුදා ප්‍රහාර හමුවේ ජීවිතක්ෂය පත්ව තිබූ අතර, එක් ත්‍රස්තවාදියෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවි තිබුණි.

ත්‍රස්තයන් මෙම අවන්හලට ඇතුළු වනවිට බේරී පළා ආ සේවකයෙකු පවසා තිබුණේ ත්‍රස්තයන් 6ත් 8ත් අතර පිරිසක් ඊට ඇතුළු වූ බවයි. මේ අතර, මෙම අවන්හල සමීපයේ කාර්යාලයක සේවය කරන්නෙකු පවසා තිබුණේ, රාත්‍රී කාලයේදී වෙඩි ප්‍රහාර මාලාවක් සමග මිනිසුන් මර ලතෝනි තබමින් දිව යන ආකාරයත් දුටු බවයි. මේ අතර, තවත් ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා තිබුණේ, මෙම ප්‍රහාරකයන් 'අල්ලාහු අක්බර්' යනුවෙන් කෑමොර දෙමින් ඊට ඇතුළු වූ බවයි.

එහිදී, පොලීසිය රාත්‍රියේ මෙම ස්ථානයට පැමිණි පසුව ත්‍රස්තයන් පොලීසිය වෙත වෙඩි තබමින්, ඔවුන්ට අත්බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කර තිබුණි. මෙම ප්‍රහාරයේදී මියගිය පිරිස අතර ඉතාලි ජාතිකයන් පිරිසක් සිටින බව එරට රජය අනාවරණය කරයි.

ඩකා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබූ අතර, මෙය අල්කයිඩා ප්‍රහාරයක් විය හැකි බවටද ඇමෙරිකානු බුද්ධි අංශ සැක පහළ කර තිබුණි. කෙසේ වෙතත්, පසුගිය කාලය පුරාවට එරට තුළ සිදුවූ ඝාතන රැල්ලත්, රාමසාන් සමයේදී විදේශයන් හි ප්‍රහාර එල්ල කරන බවට මීට පෙර ඉස්ලාම් රාජ්‍ය කර තිබූ අනතුරු ඇඟවීම් සමගත් මෙය ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ තවත් ම්ලේච්ඡ ප්‍රහාරයක් විය හැකි බවට සැකයක් නොමැති බවද ඇතැම් මාධ්‍ය වාර්තා පවසයි.

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගනිමින් මුලින්ම පවසා තිබුනේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 24 දෙනෙකු මරා දැමුනු බවයි. කෙසේ වෙතත්, එම අවස්ථා‍ෙව්දී එරට ආරක්ෂක අංශ එය ප්‍රතික්ෂේප කල අතර, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පමණක් ජීවිතක්ෂයට පත්වූ බවත්, තවත් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් පවසා සිටියේය.

නමුත්, ප්‍රහාරය අවසන් වනවිට ඉස්ලාම් ත්‍රස්තයන් කලින් කී ප්‍රකාශය බොහෝ දුරට සත්‍යයක් වී තිබූ අතර ප්‍රහාරයෙන් 22 දෙනෙකු ජීවිතක්සයට පත් තිබුනි. එමෙන්ම ප්‍රහාරයෙන් හතලිහකට ආසන්න පිරිසක් තුවාල ලබා තිබුනි.

1 2 3 4 5 6 7 8

 



Recommended Articles