ජාතික ආරක්ෂාව ශක්තිමත් කර රට තුළ සහජීවනය ගොඩනංවමින් රණවිරු සුබසාධනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අද (09 දා) පැවති විරුසර වරප්‍රසාද දෙවන අදියර වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය . එසේම ත්‍රස්තවාදයෙන් මාතෘභූමිය ආරක්ෂා කිරීමට කැපවූ රණවිරුවන් සෑම අංශයකින්ම ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
"මාතෘභූමිය ආරක්ෂා කල රණවිරුවන්ට අපේ රජයේ විශාල ගෞරවයක් තිබෙනවා. අපි මොන වැඩසටහන ඉදිරිපත්කලත්, කුමන සේවාවක් සිදුකලත් විපක්ෂයේ පිරිසක් නිරන්තරයෙන්ම කියන්නේ අපි රටේ ජාතික ආරක්ෂාව අර්බුදයට යවමින් , රණවිරුවන් නොසකලා හරින බවයි. මේ අභූත චෝදනා අපි මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා.
එක දේශපාලන කණ්ඩායමක් පටු දේශපාලන අරමුණු ඇතිව අපිට මොන චෝදනා කලත් අපේ වැඩපිළිවෙල පැහැදිලි අරමුණක් ඇතිව ඉදිරියට අරන් යනවා. අපිට ඕන මේ රට දියුණු කරන්න. අපේ ඉලක්කය සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනතාව අතර සමගිය සහ සහජීවනය ඇතිකිරීම. රටේ ජනතාව අතර අසමගිය තිබුණොත් රට දියුණු කරන්න බෑ.
අපි උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂාව ගැන සැලකිලිමත් වන ගමන්ම එම ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් සහ නිවාස ගැටළු විසඳීමට පියවර ගෙන තිබෙනවා. උතුරේ තාමත් විසිදහසකට වැඩි පිරිසක් කඳවුරුවල ජීවත්වෙනවා. ඔවුන් අපේ රටේ සහෝදර ජනතාව. ඔවුන් දශක තුනක් ත්‍රස්තවාදය නිසා නොයෙක් පීඩාවන්ට පත්වුනා.
ඔවුන් මුහුණදී සිටින ප්‍රශ්ණ විසඳීම තුලින් තමයි අපට ජාතික සමගියක් ඇතිකරන්න පුළුවන් වන්නේ. ජනවර්ග අනුව බෙදුනොත් රටක් ඉදිරියට ගෙනියන්න බෑ. රණවිරු සුබසාදනයත් මේ වැඩසටහන්වලට සමගාමීව අපි ඉදිරියට අරන් යනවා.
පසුගිය දවස්වල දේශපාලන බලය ගිලිහීගිය කණ්ඩායමක් ආබාධිත රණවිරුවන් පිරිසක් නොමඟයවලා උද්ඝෝෂණයක් සංවිධානය කලා.ඔවුන් බලහත්කාරයෙන් ජනාධිපති කාර්යාලයටත් කඩාපැන්නා. නමුත් මේ පිරිසට අමතකයි අවුරුදු ගණනක් බලයේ හිටපු ඔවුන්ගේ නායකයෝ ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුපේ ප්‍රශ්ණය සහ අනෙකුත් ප්‍රශ්ණ විසඳුවේ නැතිබව. ඒ ප්‍රශ්ණය විසඳුවේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අපේ ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන්.
දේශපාලන බලය වෙනුවෙන් රණවිරුවන් යොදාගන්න පිරිස් ඒ කාලේ සිදුකලේ රණවිරුවන්ගේ අභිමානය නැතිකරමින්, ඔවුන්ගේ සැබෑ ප්‍රශ්ණ අමතක කල එක. නමුත් අපේ රජය ඒ සියළු ප්‍රශ්ණ විසඳමින් සිටිනවා. අපි කෙටි කාලයක් ඇතුලත රණවිරුවන්ගේ වැන්දඹු බිරින්දෑවරුන් මුහුණදී සිටින විශ්‍රාම වැටුප් ගැටළුවත් විසඳනවා" යැයි පැවසීය.