ගොවි විරෝධය


අයවැය තුළින් කපාදැමූ ගොවි සහන නැවත ලබාදෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද (17දා) අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

කැති උදලු, දෑකැති, පොරු ලැලි රැගත් ගොවි ජනතාව ලිප්ටන් වටරවුමේ සිට අරලිය ගහමන්දිරය දක්වා පාගමනකින් ගමන් කර අයවැය තුළින් කප්පාදු කළ පොහොර සහනාධාරය, වීවලට ලබාදී තිබූ සහතික මිල පහළ දැමීමට එරෙහිව සහ ගොවි විශ්‍රාම වැටුපෙන් රුපියල් 50 ක් මාසිකව අය කරගැනීමට විරෝධය දක්වා අග්‍රාමාත්‍යවරයාට සංදේශයක් භාරදීමටත් සැලසුම් කර තිබුණි.

එහෙත් පාගමන මාර්ග බාධක යොදවා කොල්ලුපිටිය මංසන්ධියේදී නතර කිරීමට පොලිසීය කටයුතු කළ අතර, ඉන් පසුව නියෝජිතයන් 15 දෙනෙකුට අරලියගහ මන්දිරයේ රැඳි සිටි අගමැති ලේකම්වරයෙකු සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදෙනු ලැබිණි.

මෙම කාලය තුළ විවිධ සටන් පාඨ කියමින් ගොවි ජනතාවට අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූහ.

ලේකම්වරයා සමග සාකච්ඡා අසාර්ථක වූ බවත්, රැගෙන ගිය සංදේශය භාරගැනීමත් සිදුනොවූ බවද සමසත් ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධානය නාමල් කරුණාරත්න මහතා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. 


ඡායා - ඉසුරු පෙරේරා



Recommended Articles