ඛෙත්තාරාමය නොසන්සුන්


ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ කලහකාරී හැසිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කීර්තිනාමයට කලු පැල්ලමක් එක්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක පාකිස්තාන අතර පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (19දා) නිමාවට පත්විය.

මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදී මාධ්‍ය කුටියට දකුණු පසින් වන්නට පිහිටි ප්‍රේක්ෂකාගාරයක උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර, පසුව එය ගැටුමක් දක්වා වර්ධනය විය. ඉන් අනතුරුව ගැටුම පිටියෙන් පිටතටත් ව්‍යාප්ත වූ අතර, පසුව පිටත සිටි පිරිස් ක්‍රීඩාංගණයට ගල් හා බෝතල්වලින් ප්‍රහාර එල්ලකළහ. එසේ  විසිකළ එක් ගලක් පිටියටත් වැටුණු අතර, ඒ හේතුවෙන් පාකිස්තානු කණ්ඩායම ආරක්ෂාකාරීව පිටිය මැදට වී මද වේලාවක් ගත කළේය. පසුව ඔවුන් ශ්‍රී ලංකා ඉනිම ක්‍රීඩාකරමින් සිටි සචිත් පතිරණයට හා තිසර පෙරේරාට දන්වා පිටියෙන් ඉවත්විය. නමුත් තරගය අවසන් කිරීම සඳහා නැවතත් පන්දු රැකීමට පාකිස්තාන කණ්ඩායම පිටියට පිවිසියේය.

මෙම ගැටුම මර්දනය කිරීමට කැරලි මර්දන ඒකකයද කැඳවූ අතර, ක්‍රීඩාංගණයට පිටතින් එන ගල් ප්‍රහාර පාලනය කිරීමට ඔවුන්ටද නොහැකිවිය. ඒ හේතුවෙන් තරගය විනාඩි 45ක් පමණ ප්‍රමාද විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රේක්ෂකයන්ගේ කලහකාරී හැසිරීම හේතුවෙන් තරගයක් තාවකාලිකව නතරකිරීමට සිදුවූ ප්‍රථම වතාව මෙය වේ. කෙසේ නමුත් මෙම ගැටුම කිසිලෙසකින්වත් ශ්‍රී  ලංකා කණ්ඩායම පරාජයවීමට ආසන්නවීම නිසා ඇතිනොවූවක් අතර, ප්‍රේක්ෂකයන් අතර ඇතිවූ පෞද්ගලික සිදුවීමක් දුරදිග යාමෙන් ඇතිවූවක් බව පෙනෙන්ට තිබුණි. මෙම තරගය නැරඹීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නව ප්‍රධානී සරීර් අබ්බාස් මහතාද පැමිණ සිටියේය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් විමසූ ඒ මහතා පවසා සිටියේ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී අද (19දා) පැවති ක්‍රිකට් තරගය අතරතුර ඇතිවූ කලහකාරී සිදුවීම පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් කැඳවීමට සිදුවූ බවයි.

ක්‍රිකට් තරගය නරඹමින් සිටි පිරිසක් ක්‍රීඩාංගණයට මෙපිටින් වූ ගම්මානයට ජල බෝතල්වලින් පහරදී ඇති බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉන් අනතුරුව ගම්මානයේ සිටි පිරිසක් ගල්මුල්වලින් ක්‍රීඩාංගණය දෙසට පහර දී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි.

කලහකාරී ලෙස හැසිරුණු පිරිස් මත්පැන් පානය කර ඇති බවට අනාවරණය වී ඇතැයිද ඒ මහතා පවසා සිටියේය. කෙසේ වෙතත් ක්‍රිකට් තරගය සුළු වේලාවකට නතර කළද පොලිසිය මැදිහත්ව තත්ත්වය සංසුන් කළ බැවින් යළිත් තරගය ආරම්භ කිරීමට හැකි වූ බවද රුවන් ගුණසේකර මහතා පවසා සිටියේය.

එසේම ක්‍රීඩාංගණය අවට ආරක්ෂාව තරකිරීමට අතිරේක පොලිස් බලඇණි යෙදවීමට සිදුවූ බවත්, කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ වු කිසිවෙකු අත්අඩංගුවට නොගත් බවත්, ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

චානක චන්ද්‍රසේකර, අමිත් මධුරංග/ ඡායාරූප ශාන්ත රත්නායක

 



Recommended Articles