ලොව ධනවත්ම පැසිපන්දු ක්රීඩකයෙක් මෙන්ම 05 වරක් දක්ෂතම ඇමෙරිකානු පැසිපන්දු ක්රීඩකයා කිරුළ දිනූ කෝබි බ්රයන්ට් 90 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම සජීවිකරණ කෙටි චිත්රපටයට හිමි සම්මානය දිනාගැනීමට සමත්විය.
90 වැනි ඔස්කාර් සම්මාන උළෙල පෙරේදා (04දා) ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්විණි.
කෝබි බ්රයන්ට් කුඩා කල සිට පුහුණුවීම් කර පැසිපන්දු ක්රීඩාව ජයගන්නා ආකාරය ඇතුළත් විනාඩි 05ක් පුරා දිවයන 'Dear Basket ball' කෙටි චිත්රපටයට මෙම සම්මානය හිමිවිය.
'Dear Basket ball' කෙටි චිත්රපටය ග්ලේන් කීන්ගේ අධ්යක්ෂණයක් වන අතර එහි පිටපත ලියා ඇත්තේ කෝබි බ්රයන්ට්ම වීම සුවිශේෂීය. එමෙන්ම ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු වෘත්තීය ක්රීඩකයා සහ වෘත්තීය පැසිපන්දු ක්රීඩකයා වීමේ ගෞරවයද කෝබි බ්රයන්ට්ට හිමිව තිබේ.
'Dear Basket ball' කෙටි චිත්රපටය හැර ඔස්කාර් සම්මාන උළෙලේදී තවත් සජීවිකරණ කෙටි චිත්රපට 04ක් (ගාර්ඩ්න් පාර්ටි, ලූ, නෙගටිව් ස්පේස් සහ රිවොල්ටින් රයිම්ස්) හොඳම සජීවිකරණ කෙටි චිත්රපටය සඳහා නිර්දේශ වී තිබුණු අතර, පැන්සල් තුඩක් ආධාරයෙන් නිර්මාණය කර ඇති 'Dear Basketball' සජීවිකරණ කෙටි චිත්රපටය අවසානයේදී හොඳම සජීවිකරණ කෙටි චිත්රපටය ලෙස සම්මානයට පාත්ර විය.
කෝබි බ්රයන්ට් ඇමෙරිකානු පැසිපන්දු සංගමය (NBA) සංවිධානය කරන ප්රධානතම තරගාවලිය සඳහා 1996 සිට 2016 දක්වා ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායමට ක්රීඩා කළ අතර, ඔලිම්පික් රන් පදක්කම් ද්විත්වයකටද (2008 - බීජිං සහ 2012 - ලන්ඩන්) හිමිකම් කීමට ඔහු සමත්ව සිටියි.