මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී යට වූ විහාරස්ථානවල නටඹුන් දැක ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල පිරිසක් දිනපතා කොත්මලේ කඩදොර ප්‍රදේශයට පැමිණේ.
1979 වසරේ කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී එම ජලාශයට කඩදොර •පියබිම්බාරාමය, තිස්පනේ විහාරය, මොරපේ විහාරය, මැදගොඩ දේවාලය ඇතුළු ආගමික ස්ථාන රැසක් යටවුණි.
මේ දිනවල ජලාශයේ ජල මට්ටම අඩුවීමත් සමගම කොත්මලේ කඩදොර ප්‍රදේශයෙන් යට වූ කඩදොර පියබිම්බාරාම විහාරස්ථානය මතුවී ඇති අතර, එහි මතුවී ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේට පුද පූජා පැවැත්වීමට හා එය දැක බලා ගැනීමට විශාල පිරිසක් මේ දිනවල පැමිණෙමින් සිටී. මෙම ජලාශය ඉදිකිරීමේදී යට වූ ආගමික හා පූජනීය ස්ථාන සිහිකිරීම පිණිස කොත්මලේ මහා සෑය ඉදිකර තිබේ.
මේ අතර කොත්මලේ ජලාශ වේල්ලේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොත්මලේ ජලාශ වේල්ල හරහා වාහන ධාවනය කිරීම හා ජලාශ වේල්ල නැරඹීම ලබන (01දා) දක්වා තාවකාලිකව තහනම් කිරීමට මහවැලි සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ. එම නඩත්තු කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේය.