කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ සැකකරුවෝ හඳුනාගැන‍ෙති


කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට හා ආචාර්ය පූජ්‍ය වීදාපොළ සෝභිත හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ කිරිවෙහෙර මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපු මහතෙකු වන අසේල බණ්ඩාර නමැත්තෙකු බවට හඳුනාගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඔහු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශනක් ආරම්භ කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පුවත්පතට සඳහන් කළේය.

අදාළ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී කඩුවක්,පතරොම් තුවක්කු සඳහා යොදන ජීව උණ්ඩ 10ක් හා කිනිසි දෙකක්ද සොයාගෙන තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

අදාළ නිවස පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලීසිය විශේෂ පරීක්‍ෂාවකට ලක්කිරීමේදී මෙම භාණ්ඩ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුවතිබෙන බවට සැකකරන බවත්, ප්‍රධාන සැකකරු පිළිබඳ ඊයේ (13දා) සවස වනවිට නිවැරදි තොරතුරු ලැබී තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

සැකකරුවන් පැමිණි බවට සැකකරන VP CAG 8531 දරන හොන්ඩා වෙසල් වර්ගයේ ජීප් රථය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

වෙඩි තැබීම සඳහා සැකකරුවන් තිදෙනෙකු පැමිණ ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත.

සැකකරුවන් රැගෙන ආ බවට සැකකරන ජීව උණ්ඩ 02ක් හා හිස් පතරොම් කොපු දෙකක් වෙඩි තැබීම් සිදුකළ ප්‍ර‘දේශයේදී පොලීසිය විසින් සොයාගෙන  තිබේ.

පරීක්‍ෂණ කටයුතු සිදුකරන පොලිස් කණ්ඩායම් ඊයේ පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, අදාළ පරීක්‍ෂණ කටයුතු සඳහා පොලිස් නිල සුනඛයන්ගේද සහාය ලබාගෙන ඇත.

තිස්සමහාරාම වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඊයේ අදාළ ස්ථානය පරීක්‍ෂාවට ලක්කර තිබේ.

කිරිවෙහෙර රජමහ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් පෙරේදා (12දා) රාත්‍රී 10.15ට පමණ කිරිවෙහෙර මළුවට ගොස් කිරිවෙහෙර වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු නැවත ප්‍රධාන ආවසගෙය දෙසට පැමිණෙමින් සිටියදී කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඩ සිටින දෙවැනි මළුවේදී වෙඩි ප්‍රහාරයකට ලක්විය.

 වෙඩි ප්‍රහාරය හේතුවෙන් නාහිමියන් සමග පැමිණි කතරගම මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය වීදාපොළසෝභිත හිමියන්ද තුවාල ලැබීය. තුවාල ලැබූ කිරිවෙහෙර නාහිමියන් ඇතුළු අනෙක් හිමි නම රාත්‍රියේදීම කතරගම රෝහලට ඇතුළත් කෙරුණු අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරිණි. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (13දා) ශ්‍රී ලංකා ගුවන්හමුදාවට අයත් SUH 522 දරන හෙලිකොප්ටර් යානයෙන් උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන එනු ලැබීය.

නාහිමියන්ගේ උදරය ප්‍රදේශයට හා දකුණු අතට වෙඩි වැදී තිබේ. හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා මහතා පැවසුවේ,ඊයේ (13දා) අලුයම නාහිමියන්ට සැත්කමක්ද සිදු කළ බවයි.

තුවාල ලැබූ වීදාපොළ සෝභිත හිමියෝ තවදුරටත් හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබති.

කිරිවෙහෙර සෑ මළුවේ පවතින මහසෙන් දේව මන්දිරය සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් හා වසර ගණනාවක් කපු ධුරය හෙබවූ අයෙකු අතර පසුගිය කාලයේදී කිසියම් ගැටලුවක් ඇතිව තිබේ.

මෙහිදී අදාළ ප්‍රධාන කපු මහතා ඉවත් කිරීමට කටයුතු කර තිබෙන අතර, විහාර හා දේවාලගම්පනතට අනුව මහසෙන් දේව මන්දිරයේ අයිතිය විහාරාධිපති ස්වාමීන් වහන්සේ වෙත හිමිව ඇත.අදාළ වෙඩි තැබීම හා එම සිදුවීම අතර කිසියම් සම්බන්ධයක් ඇති බවට බොහෝ පිරිස් සැකකරති.

පොලිස් පරීක්‍ෂණවලට අමතරව කිරිවෙහෙර අවට තිබෙන ආරක්‍ෂික කැමරා දර්ශන පරීක්ෂාවට ලක්කිරීමටද පොලීසිය කටයුතු කරතිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගත් පුද්ගලයන්ගෙන් අයෙකු පොලිස් භාරයට ගෙන තිබෙන බවද වාර්තා වේ.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රාශියක් හෙළිව තිබෙන අතර, ඒ ඔස්සේ පොලීසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිස් භාරයට ගෙන තිබෙන සැකකරු මහසෙන් දේවාලයේ සේවය කර තිබෙන පුද්ගලයෙකු බවටද වාර්තාවේ.

01-(3) 01-(4) 01-(5) 01-(11) 01-(12) 01-(16) 01 02 checking DSCN3117

ඉන්දික හේවාවිතාරණ/ කතරගම - සන්දිම දේවප්‍රිය/ ආරියපාල රත්නායක/ සූරියවැව - නුවන් ජයසේකර

 



Recommended Articles