කැළණි සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්


කැලණිය විශ්වවිද්‍යාලයීය මහාශිෂ්‍ය සංගමය දියත් කළ විරෝධතා පා ගමනකට අද (15දා) ජනාධිපති ලේකම් කාර්යාලය අසල ලෝටස් වටරවුම ආසන්නයේදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී. නවක වද සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන දින 40 ක් ඉක්මවීම හේතුවෙන් පැවති මෙම විරෝධතා හා ගමන සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණි. 

අදාළ පා ගමන දියත් කිරීමට බාධාවක් නොමැති නමුත්, ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීම වළක්වාලීම මෙන්ම මගීන්ට අවහිරයක් සිදුනොවීම සඳහා කොටුව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර තිබූ බව වාර්තා වේ.

කෙසේ වුවද ඊයේ දහවල් 2.30ට පමණ මරදාන ටෙක්නිකල් මංසන්ධියෙන් ඇරඹි විරෝධතා පා ගමන ඕල්කොට් මාවත හරහා කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියේය. මේ හේතුවෙන් ලෝටස් වටරවුමේ සිට ගාලු මුවදොර දෙසට වූ මාර්ගය වසා දැමුණු අතර, එහිදී මාර්ග තදබදයක්ද හට ගැනුණි.
ඒ අනුව, ජනාධිපති ලේකම් කාර්යාලය අසල ලෝටස් වටරවුම ආසන්නයේදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරමින් විරෝධතා හා ගමන විසුරුවා හරින ලදී. 

මෙම විරෝධතා පා ගමන සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයද එක්ව සිටි අතර, සිරගත කර සිටින සිසුන් වහා නිදහස් නොකරන්නේ නම්, සියලු විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධ කර ගනිමින් රට පුරා දැවැන්ත අරගලයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඔවුහු අවධාරණය කර සිටියහ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා චෝදනා කර සිටියේ, පාලකයන්ට විශේෂ නීතියක් හා සාමාන්‍ය ජනතාවට ඊට හාත්පසින්ම වෙනස් වූ නීතියක් රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනු දක්නට ලැබෙන බවයි.අසාධාරණ ලෙස ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීම හා ශිෂ්‍ය මර්දනය වහාම නවතා දමන ලෙසට විරෝධතාවයේ නිරත වූ සිසුහු මෙහිදී ආණ්ඩුවට අවධාරණය කර සිටියහ.

DSC_0028 DSC_0033 DSC_0037 DSC_0055 DSC_0063 DSC_0076 DSC_0108 DSC_0115 DSC_0117 DSC_0128 DSC_0149 DSC_0159 IMG_5109 IMG_5146

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු 

 

 

 

 



Recommended Articles