කල්පිටියේ සුන්දර කොරල්පරය සම්පූර්ණයෙන් විනාශයි


දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් වසඟයට පත්කළ කල්පිටිය වැලිපර අභය භූමියේ දැවැන්තම කොරල්පර දෙක මේ වන විට මිනිස් ක්‍රියාකාරකම් හා සාගර උෂ්ණත්වය ඉහළ යාමේ තත්ත්වයන් මත  විනාශ වී ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය පවසයි.

සෙව්වන්දි ජයකොඩි මහත්මිය මේ බව පැවසුවේ වැලිපර අභය භූමියේ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා හා රාජ්‍ය නිලධාරීන් සමග නිරීක්ෂණයකට එක්වෙමිනි.

 ශ්‍රී ලංකාවේ විශාලතම හා සුන්දරම කොරල්පර දෙකකින් සමන්විත වූ කල්පිටිය වැලිපර අභයභූමිය 1992 අප්‍රේල් 3 වන දින වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම වැලිපර අභය භූමිය තුළ මෘදු හා දෘඪ ( හාර්ඩ් කොරල්) යන කොරල් වර්ග දෙකකින් සමන්විතව තිබෙන අතර, කල්පිටිය කුඩාව වෙරළ තිරයේ සිට මුහුදු සැතපුම් 12ක පමණ දුරකින් මුහුදේ  පිහිටා තිබේ. එය හෙක්ටයාර 306.7ක විශාලත්වයකින් සමන්විත බව කියයි.

කෙසේනමුත් පසුගිය කාලය තුළ මෙම කොරල්පර ආසන්නයේ දිගින් දිගටම ලයිලා හා සුරුක්කු තහනම් දැල් යොදා ගනිමින් හා ඩයිනමයිට් යොදා ගනිමින් මසුන් මැරීමත්, කොරල්පර උඩ සිට මසුන් මැරීමත් නිසා කොරල්පර විනාශයට පත්ව තිබේ. එයට අමතරව මෙම කොරල්පර දැක ගැනීමට පැමිණෙන සංචාරකයන් කොරල්පර තුළ ඇවිදීමත්, 2015 වසරේදී ඇති වූ සාගර උෂ්ණත්වය ඉහළ යාමත්  ආදී හේතූන් නිසාවෙන්ද මෙම සුන්දර කොරල්පරය විනාශ වන්නට ඇතැයි විශ්වාස කරයි.

DSC04655 copy DSC04683 copy DSC04830 copy DSC04888 copy DSC04895 copy



Recommended Articles