කරාපිටිය රෝහලෙන් තවත් සුවිශේෂී සැත්කමක්


කලවා ප්‍රදේශය පසාරු කරගෙන ගොස් තිබූ අඩි පහක පමණ ලී උලක් පැය දෙකහමාරක සැත්කමකින් ඉවත් කෙරේ

පොල්ගසකින් ඇද වැටීම හේතුවෙන් රෝගියෙකුගේ වම්පාදයේ කලවා ප්‍රදේශය පසාරු කරගෙන ගොස් තිබූ අඩි පහක පමණ ලී උලක් පැය දෙකහමාරක පමණ සුවිශේෂී සැත්කමකින් පසු ඉවත් කිරීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නහර හා අවයව බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා සමත්ව තිබේ.මෙම සැත්කමට මුහුණපෑවේ එදිරිගේ පියසිරි නමැති  අගුණුකොලපැලැස්ස උස්වැව ප්‍රදේශයේ පදිංචි සිවුදරු පියෙකි.

මොහු පොල් ගසකින් පොල් කඩා යළි පොල් ගසින් බැසීමේදී අඩි තිස්පහක් හතලිහක් පමණ උසකින් ඇදවැටී මෙම අනතුර සිදුවී ඇත.පසුගිය 12 වැනි දින මෙම සිද්ධිය සිදුවී ඇති අතර, ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කලවේ ඇණී තිබූ ලී උලත් සමග එදිනම කරාපිටිය ශික්ෂණ රෝහලට  මාරුකොට එවා තිබේ.

මෙම සුවිශේෂී සැත්කම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා අප සමග මෙසේ අදහස් පළ කළේය.

"මෙම රෝගියා මෙම අනතුරට ලක්වුණාට පසු මුලින්ම ඇඹිලිපිටිය රෝහලට තමයි ඇතුළත් කරලා තිබුණේ. ඒ රෝහලේ වෛද්‍යවරයෙකු මට කතා කරලා කිව්වා මෙම රෝගියා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකොට එවනවා කියා සැත්කම කිරීමට. නහරවලට අනතුරක් වී ඇති බව කිව්වා. ඒ නිසා ලීයත් සමග තමයි එව්වේ. පසුව ශල්‍යාගාරයට මෙම රෝගියා අරගෙන සැත්කමක් කිරීමෙන් පසු එම ලී කොටය ඉවත් කළා. 

මුලින්ම පාදයේ රුධිර වහනය නතර කළා. උඩින් තිබූ නහරවල ලේ සැපයුම නතර කරලා තුවාලය සම්පූර්ණයෙන් හෝදලා නහර පිලිසකර කරලා තමයි සැත්කමකින් ලීය අයින් කළේ. නමුත් මොහුගේ ප්‍රධාන නහරය  බේරිලා තිබුණේ . සැත්කමින් පසු මෙම රෝගියාගේ පාදවල ඇති නහරවල හොඳින් රුධිරය වහනය වෙනවා. සුෂුම්නාවට හානි ‍වෙලාද කියලා බලන්න දැන් එම්.ආර්.අයි පරීක්ෂණයක් කරනවා. රෝගියා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා.

මේ වගේ උලක් ඇනුණු අවස්ථාවක එය ගලවන්නේ නැතිව රෝහලට රැගෙන එන්න ඕන. ගලවන්න ගියහොත් රුධිර වහනය වෙලා ජීවිතය පවා නැති වෙන්න පුළුවන්"

මේ පිළිබඳ අදහස් දැක්වූ රෝගියා,

"පොල්ගහකට ගිහින් බහින්න හදන විට එක් පොල්පිත්තක් අල්ලා ගත්තා. ඒ පොල්පිත්ත ගැලවුණා.මට අනික් පොල්පිත්ත අල්ලා ගන්න බැරිවුණා. ගහෙන් බිමට වැටුනා. වැට අයිනේ තිබුන ගහක අත්තක් තමයි කකුලේ ඇණිලා තිබුණේ. එතනදී ගහෙන් ලී කැබැල්ල වෙන් කරලා තමයි රෝහලට රැගෙන ආවේ. දැන් නම් කකුල හොඳයි" යනුවෙන් පැවසීය.

01 copy 02 copy 2  05 copy 06 copy

ජිනේෂ් නානායක්කාර/රවිදු දියගහගේ



Recommended Articles