ඓතිහාසික සොබාසිරි සමග මුදලට විකිෙණන්නට සැරසෙන කරඳගොල්ල ගම්මානයේ ඛේදාන්තය


ඌව පළාත දිය ඇලි, කඳුවැටි, විශාල හෙල්, අගාධ, තැනිතලා, සානු, දිය උල්පත්, වනසතුන් යන සියලු ස්වාභාවික සම්පත් උරුම කරගත් පරිසරයක් සහිත බිමකි.මේ සියලු පාරිසරික දායාදයන් සමග සුවදායී දේශගුණයකටද හිමිකම් කියන 'ඇල්ල' ප්‍රදේශය විදේශීය සංචාරකයන්ගේ වඩාත් ආකර්ක්‍ෂණය දිනාගෙන ඇත. අප මේ කතා කරන ප්‍රදේශයද කලින් පැවසූ සියලු පාරිසරික සම්පත් උරුම කරගත් භූමියකි. %රාවණා ඇල්ල^ යැයි පිරිසුදු  බමරගම දියඇල්ල සිට කිලෝමීටර් 07ක් පමණ දුරින් පිහිටි මෙම ප්‍රදේශය නමින් කරඳගොල්ල, 10 කණුව ප්‍රදේශයයි. 


IMG_20171026_005425

සුන්දරත්වයෙන් අනූනව ගලා බසිනා මෙම දිය ඇල්ල රාවණා ඇල්ල රක්‍ෂිතය හරහා ගලාගෙන ගොස් මෙම වනය තුළ අපුරු දිය ඇල්ලක් නිර්මාණය වී තිබේ. එහෙත් අවාසනාවකට අඩි 50ක් පමණ උස මෙම දියඇල්ලේ අසිරිය විඳින්නට සාමාන්‍ය ජනයාට අද ඉඩකඩ ඇහිරී ඇත. මෙම සැඟවුණු දියඇල්ල පොතපතෙහිද නැති තරමට ගුප්තය. 
කිරිඳිඔය දිගේ ස්වාභාවිකව නිර්මාණ වූ පිහිනුම් තටාක කුඩා දියඇලි තැනින් තැන අසිරිය වඩවයි. දේශීය මෙන්ම විදේශියකයන්ට අහිමි කර ඇති මේ ස්වභාව ධර්මය පෞද්ගලික සංචාරක හෝටල්  මගින් සංචාරකයන්ට ඉහළ මිල ගණන්වලට අලෙවි කරමින් විශාල ආදායම් ලබයි. ගම්වාසීන් පාරම්පරිකව භුක්ති විඳින ලද කැලෑබද මාර්ගය පමණක් නොව තම සොහොන් බිම්ද මෙම ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගෙන කම්බි ගසා ඇතැයි ගම්වාසීහු පවසති.
වනජීවී රක්‍ෂිතයක්, අභයභූමියක් වුවද එම නීති පිළිබඳ අබමල් රේණුවක හෝ තැකීමක් නොමැතිව එම බිමේ පාලම් හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් අට්ටාල දියඇල්ල සමීපයේම ඉදිකර ඇත. 
විදේශීය සංචාරකයන්ගේ අසීමිත නිදහසට බාධා වන බැවින් දේශීය සංචාකරයන් එහි යෑම වළක්වන බව ඒවා අත්පත් කරගත් අයගේ අදහසයි. 
ගම්වාසීන් පසුගියදා ඇල්ල - වැල්ලවාය මාර්ගය හරස්කර විරෝධතාවක් පැවැත්වුවේ වගකිවයුතු බලධාරීන්ගේ අවධානය මේ වෙනුවෙන් ලබා ගැනීමටය. මෙතෙක් නිදා සිටි ඔවුන් මේ දක්වාද නින්දේ පසුවන බව ගම්වාසීන්ගේ අදහසය. මෙම කටයුතුවලට හරස් වන ගම්වාසීන්ට විවිධ පුද්ගලයන්ගෙන් එල්ල වන තර්ජන හේතුවෙන් ඔවුහු භීතියෙන් පසුවෙති.

uuuuu 3

වගකිවයුතු අංශය වහාම ඉදිරිපත්ව විදේශීය සංචාරකයන්ට මෙම ස්වාභාවික උරුමය විඳින්ට අවස්ථාව සලසන අතරම ගම්වාසීන්ගේ නිදහස තහවුරු කළ යුතුය. මේ පිළිබඳ ගම්වාසීහු කිහිපදෙනෙක් අප සමග මෙලෙස අදහස් දැක්වූහ.

රජයේ ඉඩම් සියල්ලම අල්ලනවාට එරෙහිව තමයි අපි මේ කටයුත්ත කරන්නෙ - චමින්ද කුමාර

 කරඳගොල්ල, කිවුල්ආරාව කොට්ඨාසයේ තියෙන සුසාන භූමි, ගම්සභා පාරවල්, ගඟ, කිරිඳිඔය සම්පූර්ණයෙන් වහමින් මෙම හෝටලය මගින් ගමේ තියෙන සියලු සම්පත් අත්පත් කරගෙන යනවා.
මෙම හෝටලය විතරක් නෙමෙයි තවත් හෝටල් තියනවා මේ ගමේ. මේ රජයේ ඉඩම් සියල්ලම අල්ලනවාට එරෙහිව තමයි අපි මේ කටයුත්ත කරන්නෙ. 12 කණුව කොටසේ තිබෙන රජයේ වනජීවී රක්‍ෂිත අල්ලා ගනිද්දි නිලධාරීන් ඒවාට ගිහින් හවසට පාටි දානවා ඒ වෙනුවෙන්. 

සොහොන් භූමියත් අඩි පාරත් තමයි අපි ඉල්ලන්නේ - ඒ.ජී.එම්. ජයතිස්ස

අපි රජයෙන් ඉල්ලන්නේ අපේ බඩගෝස්තරය රැකගන්න දෙයක් නෙමෙයි. අපේ දෙමවුපියන් මේ වනතෙක් රැකගෙන ආපු සොහොන් භූමියත් පල්වෙල කුඹුර දක්වා යන ජනතාවට තියෙන අඩි පාරත් තමයි අපි ඉල්ලන්නේ. දැන් මාස 02ක් වගේ කාලයක් තුළ මේක වහලා තියෙනවා කම්බි ගහලා. අපි රජයේ සෑම නිලධාරියෙක්ම දැනුවත් කළා. මේ වනතෙක් අපට නිසි පිළිතුරක් ලැබුණේ නැහැ. 

uuuuu 9

මුදලට යටවෙන පැත්තක් තියෙන්නෙ - එස්.බී. ජයවීර

මේකෙ ඇත්තට සොහොන් භූමියක් තිබුණා. ඒ සොහොන් භූමිය ගමේ අය මිහිදන් කරපු තැනක්. ගොවිජන සේවා කුඹුරු යායක් තියෙනවා. ඒ කුඹුරු යායෙන් අඩිපාරක් තියෙනවා. ඒ අඩිපාරෙන් මේගොල්ලො මෑතකදී කටුකම්බි ගහලා. මේ අය විසින් මෙතැන ඉන්න අපේ ගමේ කට්ටිය පොලීසියට ගෙනගිහින් උසාවි දාලා නඩුවක් පවරලා තියෙනවා කටුකම්බි ගැහුවා කියලා. ගමේ තියෙන සම්පත් සියල්ලම විනාශ කරනවා. කූඩාරම් ගහලා, ගස් කපලා සියලු දේ කපලා ප්‍රවාහනය කරනවා. බලධාරීන් කිසිකෙනෙක් මේවා හොයලා බලන්නෙ නැහැ. 
මුදලට යටවෙන පැත්තක් තියෙන්නෙ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කර තියෙනවා. ප්‍රාදේශීය සභාව දැනුවත් කර තියෙනවා. දේශපාලන අධිකාරිය දැනුවත් කළා. කිසිම පියවරක් ගන්නේ නැහැ. 

මේ තත්ත්වය නිසා අපි හරි බයෙන් ඉන්නේ - කේ. අයිරාංගනී 

කළු ඇඳුම් ඇඳලා බයික්වලින් කැරකෙනවා. ඒ විදේශිකයන්ට ඕන විදියට පරිසරය හදලා. බොහොම අමාරුවෙන් අපි හතර පස්දෙනෙක් එකතු වෙලා ඒගොල්ලන් නවත්තලා ප්‍රශ්න කළා. ඒ අය කිව්වා 'අපි ආමි එකෙන් අයින් වුණු කට්ටිය. මෙයාලා කියන නිසා තමයි අපි ජොබ් එක කරන්නෙ' කියලා. මේ තත්ත්වය නිසා අපි හරි බයෙන් ඉන්නේ. 

uuuuu 10

ගඟ මැද විශාල ගස් කපලා විනාශ කළා - ජේ.පී. අබේරත්න

කිසිම කෙනෙකුට ගඟටවත් ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. පසුගිය දවස්වල ගඟ මැද මහා කුඹුක් ගස් කපලා මෙතැනට ගෙනැල්ලා ලොරිවල ප්‍රවාහනය කළා. ග්‍රාම නිලධාරීවරයා ඇවිල්ලා හිටියත් එයා යන්න කලින් ලොරි ටික නතර කරලා ලෝඩ් එක අරන් ගියා යන්න. ගඟ මැද විශාල ගස් කපලා විනාශ කළා. ඒවත් අපි දැනුම් දුන්නා. අද වෙනකම් කිසිම විසඳුමක් නැහැ. 

මේ වතුර පාර සම්පූර්ණයෙන් හෝටල්වලට ගත්තා  - පී.බී.එම්. ජයතිස්ස

පැමිණිල්ලක් දැම්මාම එන්තරවාසි එවනවා. ඊට පස්සේ ඉදිරිපත් වෙන කෙනා බයයි මොකද පොලීසියක් ගාණෙ යන්න ඕන. ඒවගේ දේවල් කරන්න වෙලා තියෙනවා. මේකෙ අවුරුදු 06කට ඉස්සර දිය උල්පතක් තිබුණා. ඇල්ල - වැල්ලවාය මාර්ගයේ වාහනවලින් යන අය වතුර බොන්න ගන්නවා. පිරිසුදු වතුර. මේ කට්ටිය ආවට පස්සේ මේ වතුර පාර සම්පූර්ණයෙන් හෝටල්වලට ගත්තා. අහිංසක පවුල් 25-30 හිටියා ඒකෙන් ප්‍රයෝජන ගත්ත. කිසිකෙනෙකුට වතුර දුන්නේ නැහැ. ඒකට එරෙහි වුණු සිරිපාල අයියා කියලා කෙනෙක් මැරුණා. 
සම්පූර්ණයෙන්ම තියන ජල උල්පත් ටික හෝටල්වලට. කිසිම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් දැනුවත් වීමකින් තොරව ජල නළ දාලා පෞද්ගලිකව ගන්නවා. වැලිබිස්ස කියන කොටසේ කුඹුරු අක්කර 15ක් විතර දැන් අවුරුද්දක් විතර තිස්සේ වගා කරන්න බැහැ. ඒක එක සිදුවීමක්. පොඩි ජල උල්පත්වලින් ජල මාර්ග 04ක් අරගෙන තියෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවට අපි දැනුම් දුන්නා. ඒ අය නඩු පවරනවා කිව්වා. මොනා වුණාද කියලා අපි දන්නෙත් නැහැ. මේ කිරිඳිඔය හරස් කරලා වතුර පාර අරගෙන විශාල වැව් හා සමාන තටාක ගහලා තියෙනවා. ඒවා තනිකර කුඹුරු ඉඩම්. 
විහාරගොඩ කියලා තැනක පන්සලක් තියෙනවා. එතැන සඳකඩපහණ ආදී හැම දෙයක්ම තියෙනවා. පන්සලේ කිසිවක් නැහැ ඔක්කොම ගරා වැටිලා. ඒකත් අල්ලගත්තා. ඒකෙ තිබුණු නිධන් ටික හෑරුවා. අපි ගිහින් බලන කොට ඉඩම් ටික ඔක්කොම හාරලා. මේ අයම තමයි ඒක කළා කියන්නෙ. 
මෙතැන කුඹුරු අක්කර 35ක් විතර තියෙනවා. හෙල පින්නලන්ද, පින්නලන්ද, අංකිරිපහුව, පොල්ගහවෙල ගිනිවාඩිය, විහාරතැන්න, වඩුවෙල කුඹුරුවල ගොවියෝ 35-40ක් වගා කරගෙන හිටපු ඉඩම් ටික අල්ලගන්න ගොවියන් එක්ක ආරවුල් ඇති කර ගත්තා. ගොවියොත් මේ කට්ටියට බයේ ඒ වගාවෙන් ඈත්වුණා. ඊට පස්සේ ඉඩම් හිමියන් ඒ කුඹුරු ටික ඒ කට්ටියගේ අතට පත් කර ගෙන තියෙනවා. ඒකෙන් වෙලා තියෙන්නෙ අසරණ මිනිස්සුන්ට ගොවිතැනක් කරගන්න බැරි වීම. 

uuuuu 11

මේවාට විරුද්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ නැහැ - වින්ටන් නිශාන්ත

දුටුගැමුණු රජු අනුරාධපුර, පොළොන්නරුවේ ඉඳලා කතරගමට ගියේ ඉස්සර පයින්. පාරවල් නැහැ. ගඟ අයිනේ තමයි ජනාවාස තිබුණේ. මේක මැදින් බෝධිය අරන් එනකොට කතරගමට ගෙනිච්ච බෝධිය මෙතැන පැළ වුණා. පසුව මෙතැන විහාරතැන්න කියලා ලොකු විහාරයක් ඉදිකළා, දුටුගැමුණු රජතුමා. ගල්වඩුවා හිටපු ගල්වළ එතැනට අල්ලපු තැන. වඩුවෙලින් තමයි ගල් හතරැස් කරලා මෙතැනට ගෙනාවේ. 
බලන්න රටට කරපු අපරාදේ. අපි රට ජාතිය වෙනුවෙන් වැඩ කරන මිනිස්සු. පෙර ජාතිය කරපු සියලු කලා නිර්මාණ දැන් වැළලිලා. මේවාට විරුද්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ නැහැ. 



Recommended Articles