බෞද්ධ සංස්කෘතියකින් පෝෂණය ලබන ජනාවාස ගැනුණු සිංහල ඉතිහාසයේ, රජුන්ගේ පවා මුදුන් මල්කඩ බවට පත් වූ බුදු දහම, චිරාත් කාලයක් තුළත් පැවතෙමින්, නූතනයේ කලබලකාරීව දිවෙන යාන්ත්‍රික සිත්සතන් එක් තැනෙක නවතා කරුණා දයාවෙන් සුවපත් කරනවාට සැකයක් නැත. එනම් අන් තැනෙක නොව, අංගීරස අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ මහිමයෙන් ආලෝකවත් වූ පූජනීය පුදබිමක් තුළදීමය. එවන් වූ පුදබිමක මොහොතක් රැඳී ආත්මගත සුවයක් ආඝ්‍රාණය කරන්නට අප වාසනාවක් ලද්දෙමු. එයින් නොනැවතී විචාළෙමු, අතීත පුරාවෘත්ත රැසකට උරුමකම් කියන ඓතිහාසික ගලපාත රාජමහා විහාරස්ථානය පිළිබඳ මෙසේ තොරතුරු සොයාගියෙමු.
බීමඛිත්ත විහාරය හෙවත් බෙන්තොට රජමහා විහාරස්ථානය යන නමින් හැඳින්වෙන මෙම විහාරය පිහිටා තිබෙන්නේ ගාලු දිස්ත්‍රික්කයේ බෙන්තොට - ගලපාත ග්‍රාම මධ්‍යයට වන්නටය. ශෛලාන්තර මූල, ගලතුරු මූල යන නොයෙක් නාමයන්ගෙන් ඉතිහාස පොත්පත්වල මෙම විහාරස්ථානය හඳුන්වා තිබුණත්, වර්තමානය වනවිට මෙම විහාරස්ථානය හඳුන්වන්නේ ගලපාත රජමහා විහාරස්ථානය යන නමිනි.
පළමු පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) රාජ්‍ය සමයේ ඉදිවූ මෙම විහාරස්ථානය, අනුරාධපුර යුගය දක්වාම දිවෙන දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. අනුරාධපුර මහා විහාරය සහ තිස්ස මහා විහාරය යන විහාරස්ථාන දෙක ප්‍රධාන මහා විහාර ලෙස හැඳින්වුවත්, ඒ හා සමකාලීනව බෙන්තොට රජමහා විහාරස්ථානයත් පෞරාණිකත්වයෙන් අනූන බව, ඓතිහාසික පුරාවෘත සාක්ෂිකොට ගෙන විහාරාධිපති සීගිරියේ අනෝම හිමියෝ අප සමග පැවසූහ.
මහා වංශය, පූජාවලිය, දළදා සිරිත වැනි පුරාණ ග්‍රන්ථවල පවා ප්‍රසිද්ධ මෙම විහාරස්ථානයට ඓතිහාසික වටිනාකමක් එක්වන්නේ තථාගත තෘතීය මහ ශ්‍රාවක අනුබුදු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදාවක් (උල් දන්තයක්) විහාරස්ථානය තුළ වැඩ සිටීම නිසයි. විහාරස්ථානයේ ඉදිකර ඇති චෛත්‍ය රාජයා තුළ එම ඓතිහාසික දළදා වහන්සේ නිදන්ගත කර තිබේ. දේවානම්පියතිස්ස රාජ සමයේදී ලංකාවට ලැබෙන මෙම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ නමක් හෝ දළදා වහන්සේ නමක් ලෝකයේ අන් කිසිදු තැනක නොමැති බව සඳහන් වේ. මෙම දළදාව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සුජීවත්ව සිටියදී මුඛයෙන් ගිලිහුණු දළදාවකි.
ආශ්චර්යමත් පරිනිර්වාණයකට උරුමකම් කී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කුක්කුට සම්පාත පර්වත තුළ පිරිනිවන් පා අධිෂ්ඨාන බලයෙන් පර්වත හා එකට එක්වූ බවක් පුරාණ කතා වස්තුවල සඳහන් වෙයි. කාශ්‍යප මහ රහතන් වහන්සේ ආදාහනය කළ බවක් ඉතිහාස තොරතුරුවල සටහන් නොවන අතර, අවු.120ක් ආයු වළඳා උන් වහන්සේ බුදුන් වහන්සේගෙන් පසුව ශාසන භාරකාරත්වය බාරගත් නිසා 'අනුබුද්ධ' යන නාමයෙන් හඳුන්වා ඇත.
පුරාවෘත්තයේ සඳහන් වන ආකාරයට චෛත්‍ය රාජයාණන් තුළ ඇති කළුගල් චෛත්‍ය තුළ මෙම දළදා වහන්සේ ඇතුළුව තවත් පූජනීය වස්තුන් රැසක් තැන්පත් කර තිබේ. විහාරස්ථානය තුළ ඇති සෙල්ලිපියේ සඳහන් වන්නේ රජුන් විසින් විහාරය සඳහා ගම්බිම් ඉඩකඩම් සහ විහාරදාස දාසීන්ද පූජාකොට ඇති බවයි. එවකට විශාල භූමි ප්‍රමාණයක් විහාරස්ථානය සතුව තිබුණත්, වර්තමානය වනවිට එම තත්ත්වය වෙනස් වී කුඩා බිම් කඩකට විහාරභූමිය සීමා වී තිබේ. පෞරාණික වස්තුවලට මෙන්ම බොහෝ දේපළවලට හානිවීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ පෘතුගීසී ආක්‍රමණයයි.
ඔවුහු තම ආගම වැලඳගත්තවුන්ට විහාරස්ථානය සතු ඉඩකඩම් පරිත්‍යාග කළහ. මළවුන් සිහිවීම සඳහා ඉදිකෙරුණු සොහොන් කොත් විනාශ නොකිරීම පෘතුගීසීන් තුළ තිබූ ප්‍රතිපත්තියකි. චෛත්‍ය පමණක් විනාශ නොවී සුරැකී ඇත්තේ එම ඉදිකිරීම් සොහොන් කොත් බව ඔවුන් සැක කළ නිසා බව ඉතිහාසයේ සඳහන් වන තවත් කරුණක්. විනාශ මුඛයේ පැවැති විහාරස්ථානය යළිත් පුනර්ජීවය ලබන්නේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ සමයේදීය. රජු විසින් ධාතූන් වහන්සේට උපහාර වශයෙන් ආරම්භ කරන ලද පෙරහර පෘතුගීසි ආක්‍රමණයත් සමග නැවතී ගියත්, ගාලු කෝට්ටේ ප්‍රධාන සංඝනායක තනතුර හෙබවූ රාජකීය පණ්ඩිත අඩකල්පේ පඤ්ඤාවංසාභිධාන නායක හිමියන් විසින් නැවතත් 1976 දී ආරම්භ කරන ලදී.
ඒ සඳහා සහභාගීත්වය ලබාදී තිබෙන්නේ එවකට ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතායි. දෙසැම්බර් උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී අදටත් මෙම අසිරිමත් පිංකම පැවැත් වේ. ගල්කණු, සඳකඩපහන්, සෙල්ලිපි, බිම් ගෙවල්, උමං මාර්ග වැනි බොහෝ දේ මෙම විහාරස්ථානය තුළ දැකගත හැකියි. ඉදිරිපස ඉතිරි වී ඇති ගල් උළුවස්ස දළදා වහන්සේ වැඩ සිටින විට එම දළදා කුටියට ඇතුළු වීම සඳහා ඉදිකර තිබූ ප්‍රධාන උළුවස්ස බවට නොයෙක් පුරාවිද්‍යා තොරතුරු සාක්ෂි දරයි. එම ආකාරයේ තවත් ගල් උළුවස්සක් දක්නට ලැබෙන්නේ දෙවුන්දර දේවාලයේ පමණයි. නමුත් බෙන්තොට රජමහා විහාරයේ තිබෙන ගල් උළුවස්ස තරම් එය සංකීර්ණ නොවන බව ඔබට දැකගත හැකියි. මක් නිසාද යත්, පෙරහැරක ඇති බොහෝ අංග බෙන්තොට රජමහා විහාරයේ තිබෙන උළු අස්සට අන්තර්ගතයි.
ලක්වාසී බෞද්ධ ජනී ජනයාගේ පමණක් නොව, විදෙස් සංචාරකයන්ගේද වැඳුම් පිදුම්වලට පාත්‍රවන බෙන්තොට ගලපාත රජමහා විහාරස්ථානය අද වනවිට සංචාරක පුවරුවේ ප්‍රමුඛස්ථානය ලෙසද සටහන් වී තිබෙනවා. පෞරාණික මෙන්ම සංස්කෘතික වටිනාකමින්ද යුත් මෙම විහාරස්ථානයේ ඉදිරි සංවර්ධනය සහ සුරක්ෂිතභාවය උදෙසා අවශ්‍ය කාර්යභාරය ඉටුකිරීම ඔබට බාරයි..!
තෙරුවන් සරණයි...!