එහෙනම් ඉවරයි - මම යනවා ජයවික්‍රම සභාගැබෙන් යයි


අයවැය කාරක සභා විවාදයේදී තමන්ට කතා කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා නොදුන්බවට මූලාසනයට දොස් පවරමින් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (14දා) සභාගැබෙන් පිටව ගියේය. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ වැය ශීර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේ මෙය සිදුවිය. ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාට අද (14දා) දිනයේ වෙන්කර තිබූ කාලය විනාඩි 07 කි. එය අවසාන වන අවස්ථාවේ මූලාසනයේ සිටි කාරක සභා සභාපති සෙල්වම් අඩෛකලනාදන් මහතා අමාත්‍යවරයාට තව විනාඩි දෙකක කාලයක් පමණක් ඇති බව සිහිපත් කළ අතර, අමාත්‍යවරයා තවත් කාලයක් ඉල්ලා සිටියේය.

ඒක මදි. මට වැඩි කාලයක් ඕන. කතා කරන්න ගත්තා විතරයි. මට කාලය නොදුන්නොත් කතා නොකර නැගිටලා යනවා. ඔබතුමා විපක්ෂයට ලොකු කාලයක් දුන්නා. ලේකම්වරුන් මේවා දැනගන්න ඕනෑ" යැයි අමාත්‍යවරයා පැවසීය.

එසේ වූවද මූලාසනයේ තීරණය වෙනසක් නොවූයෙන්, “එහෙනම් ඉවරයි. මම යනවා" යැයි පවසමින් අමාත්‍යවරයා තම ලිපිද්‍රව්‍යද රැගෙන සභාගැබෙන් පිටවිය.  අමාත්‍යවරයා පිටව යනු බලා සිටි කාරක සභාසභාපතිවරයා ඊළඟ කථිකයාට අවස්ථාව ලබාදුන්නේය.

 



Recommended Articles