උපාලි කොඩිකාර 23දා තෙක් රිමාන්ඩ්


බරපතළ වංචා දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සැසිවාරය සඳහා පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා යමින් එම නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියම කළේය.
සැකකාර උපාලි කොඩිකාර මහතාට ඇප නියම කිරීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධත්වය පළකරමින් කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළේය.
බරපතළ වංචා හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කුරුඳුවත්ත පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපති විමර්ශන කොමිසම විසින් සිදුකෙරුණු සාක්ෂි විභාග කිරීමේ අවස්ථාව නැරඹීම සඳහා උපාලි කොඩිකාර මහතා එහි පැමිණි ඇති බවත්, පොලිස් නිලධාරීන්ගේ අණ නොතකමින් ක්‍රියාකළ ඔහු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකර ඇති බවත් කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ පවත්වන බවද එහෙයින් සැකකරුට ඇප ලබා දුනහොත් පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බවද දැනුම් දුන් පොලීසිය සැකකරු රිමාන්ඩ් භාරයට පත්කරන්නැයි ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් මෙය ඇප ලබාදිය හැකි වරදකැයි පැවසූහ. ජනාධිපති පරීක්ෂණ කොමිසමක සාක්ෂි විභාග කරන අයුරු නැරඹීමට රටේ ඕනෑම පුරවැසියෙකුට හැකියාව ඇති බවත්, එය වළකාලීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන් නීතිඥවරු සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළව සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙස පොලීසියට නියම කළේය.





ඡායාරූපය - නිසල් බදුගේ



Recommended Articles