මහවිරු සැමරුම නිමිත්තෙන් උතුරේ සෑම දිස්ත්‍රික්කයකම ඊයේ (27දා) සැමරුම් උත්සව පැවත්වුණු අතර මෙහි ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී 5000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත් වුණි.
යාපනය සරසවිය, කොඩිකාමම්, කෝපායි ඇතුළු යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන 11කදී මහවිරු සැමරුම් උත්සව සංවිධානය කොට තිබුණි.
දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්, වින්දන් කනකරත්තනම් හා දෙමළ ජාතික ජනතා පෙරමුණේ ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මුලතිව් දිස්ත්‍රික්කයේද මුලිලි වයික්කාල්, මුල්ලියාවලෙයි, විශ්වමඩු තේරාවිල් ඇතුළු ස්ථාන කිහිපයකදී මහවිරු සැමරුම් සිදු වූ අතර ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සිවමෝහන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා එක්ව සිටියහ.
ඊට අමතරව වවුනියාව දිස්ත්‍රික්කයේද ඊච්චන්කුලම් මහවිරු සොහොන තිබූ ස්ථානයේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් ඇතුළු පිරිසක් විසින් මහවිරු සැමරුම සිදු කළ අතර මන්නාරම දිස්ත්‍රික්කයේ පෙරය පන්ඩිවිරිච්චාන්, වන්නිවිලාන්කුලම් යන සුසාන භූමිවල මහවිරු සැමරුම සිදු කෙරුණි.
මෙම මහවිරු සැමරුම් සඳහා උතුරු පළාත් කාන්තා කටයුතු අමාත්‍ය ආනන්දි සසිධරන් මහත්මිය එක්ව සිටියාය.
මේ අතර උතුරු පළාතේ ප්‍රධාන මහවිරු සැමරුම කනකපුරම් මහවිරු සුසාන භූමියේදී 5000 කට අධික සහභාගීත්වයෙන් පැවැත් වූ අතර දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මහවිරු සුසාන භූමිවල තිබූ සොහොන් ඉවත් කොට තිබූ හෙයින් සොහොන් වෙනුවට මහවිරු සැමරුමට පැමිණි සෑම වැසියෙකුම පොල් පැළයක් සිටුවීමට පියවර ගෙන තිබුණි.
මේ අතර උතුරේ පැවති මහවිරු සැමරුම් වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයන් හෝ එම පක්ෂ සාමාජිකයන්ගේ පෞද්ගලික සහභාගීත්වයන් හැරෙන්නට දෙමළ ජාතික සන්ධානය නිල පක්ෂයක් වශයෙන් සහභාගී නොවීමද විශේෂත්වයකි.