ඉන්දියාව පරදා කොදෙව්වෝ අවසන් සටනට


බලාපොරොත්තු අහස උසට දල්වා සිටි ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේ දෙවසරක බලාපොරොත්තු තමන්ගේ ඇස් ඉදිරියේදීම බොඳකර දැමූ බටහිර ඉන්දීය කොදෙව්වෝ මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ ඊයේ රාත්‍රිෙය් පැවති (31දා) දෙවැනි අවසන් පූර්ව තරගයෙන් සත්කාරක ඉන්දීය කණ්ඩායම කඩුලු 07 කින් පරාජය කර 06 වැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. 


ඒ අනුව පසුගිය වර (2014) ශ්‍රී ලංකාව ඉදිරියේ අනුශූරතාවෙන් සෑහීමට පත්වූ ඉන්දීය කණ්ඩායමට මෙවර සිය නිජබිමේදී අවසන් පූර්ව වටයෙන්ම ඉවතට යාමට සිදුවිය.


ඉන්දීය කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 193 ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 19.4 ක් අවසානයේ කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 196 ක් ලබමින් ජයග්‍රහණය කළේය. 


කොදෙව් ඉනිම ආරම්භ කළ ක්‍රිස් ගේල් කෙරෙහි බොහෝ දෙනා බලාපොරොත්තු දල්වා බලා සිටියද, පන්දු 06කට පමණක් මුහුණ දුන් ඔහුට රැස්කළ හැකිවූයේ ලකුණු 05 ක් පමණි. අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක වන මාලන් සැමුවෙල්ස්ගෙන්ද අවැසි දායකත්වය මෙවර කොදෙව්වන්ට අහිමි වූ අතර, ඔහුද ලකුණු 08 කට දැවී ගියේය. ඒ අනුව කොදෙව් ඉනිමේ ආරම්භය සනිටුවහන් වූයේ පන්දුවාර 03 ක් තුළ කඩුලු 02 කට ලකුණු 19 ක් ලෙසය.


කෙසේ නමුත් ක්‍රිස් ගේල් හෝ සැමුවෙල්ස් තමන්ගේ ගැලවුම්කරුවන් නොවන බව ඉන්දීය පන්දු යවන්නන්ට මතක් කර දුන් ලෙන්ඩ්ල් සිමන්ස් (නොදැවී 83), ජොන්සන් චාල්ස් (52) හා අන්ඩ්‍රෙ රසල් (නොදැවී 43) ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
මෙහිදී වාසනාවන්න ඉනිමක් ක්‍රීඩාකළ සිමන්ස් පන්දු 51කදී නොදැවී ලකුණු 83 ක් රැස්කළේය. සිමන්ස් අවස්ථා දෙකකදී උඩපන්දු ලබාදී පිටියෙන් ඉවත්ව යාමට පියවර තැබූවද, එම දෙවාරයේම එම පන්දු නිපන්දු විය.


සිමන්ස්ට අමතරව ජයග්‍රාහී මාවත එළිපෙහෙළි කරදුන් අන්ඩ්‍රෙ රසල් පන්දු 20 කදී නොදැවී ලකුණු 43 ක් රැස්කළ අතර, ඒ සඳහා ඔහු හයේ පහර 04 ක් හා හතරේ පහර 04 ක් උපයෝගී කරගත්තේය. ඔහුගේ ඇතැම් හයේ පහරවල් දෙස ඉන්දීය ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්‍ෂකයන්ට සිය අත් හිසේ තබාගෙන සිටිනවා හැරෙන්න වෙන කළ හැකි දෙයක් නොවීය. ආරම්භක පිතිකරු ජොන්සන් චාල්ස් පන්දු 36කදී ලකුණු 52 ක් රැස්කිරීමට සමත්විය. වේගවත් පිතිහරඹයක් දියත් කළ ලින්ඩ්ල් සිමන්ස් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
කාසිය වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 02 ක් දැවී ලකුණු 192 ක් රැස්කිරීමට සමත්විය. හැමදාමත් ඉන්දීය ඉනිමට සිය දායකත්වය උපරිමයෙන් ලබාදෙන විරාට් කෝලි මෙවරද එම වගකීම අවශ්‍ය පරිදි ඉටුකළ අතර, ඔහු පන්දු 47කදී වේගවත් ලකුණු 89 ක් ඉනිමට දායක කළේය. එම ඉනිම තුළ හයේ පහරක් හා හතරේ පහර 11 ක් ඇතුළත් විය. මෙවර තරගාවලියේ සාර්ථකම පිතිකරුවා බවට පත්ව සිටින කෝලි ඊයේ (31දා) රැස්කරනු ලැබූවේ 16 වැනි විස්සයි20 අර්ධ ශතකය වූ අතර, ඒ අනුව ඔහුට ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ වැඩිම අර්ධ ශතකලාභියා වීමට හැකිවිය. කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් (15) සමගින් ඔහු සමගින් මීට පෙර සම තත්ත්වයේ පසුවිය. කෙසේ නමුත් කොදෙව්වන් හමුවේ ලැබූ පරාජය ඉදිරියේ කෝලිගේ ඉනිමට වටිනාකමක් නොලැබිණි. 


මෙම තරගය ආරම්භ කිරීමට ඊයේ (31දා) පැය කිහිපයක් තිබියදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට ටෙස්ට් තරග 04 ක් ලබාදීමට කටයුතු කළේය. එම තරගාවලිය එළඹෙන ජූලි හා අගෝස්තු මාසයේදී පැවැත්වීමටත් එම පැය කිහිපය ඇතුළත කෙටුම්පත් කර තිබුණි. 


ඉන්දියාව සමග ටෙස්ට් තරග හතරක් පැවැත්වීම යනු කොදෙව්වන්ට අතිවිශාල මුදල් කන්දරාවක් රැස්කර ගැනීමට අවස්ථාවක් වෙයි. මෙවැනි තීරණාත්මක තරගයක් අබියසදී ඉන්දීය ක්‍රිකට් බලධාරීන් හදිසියේ ගත් මෙම තීරණය වක්‍රාකාරයෙන් කොදෙව්වන්ට 'අල්ලස්' දීමක් වශයෙන් ඊයේ වනවිට ක්‍රීඩා විචාරකයන්ගේ මතය වී තිබුණි. කෙසේ නමුත් එම සියලු විචාර පුස්සක් බවට පත්ව ඇති අතර, ලොව අතිවිශාලම ක්‍රිකට් ප්‍රේක්‍ෂයන් සිටින ඉන්දියාවට එළඹෙන ඉරිදා (03දා) පැවැත්වෙන අවසන් තරගය තමන්ගේ සගයන් නොමැතිව බැලීමට සිදුව ඇත.







 




Recommended Articles