ඉතිහාසයේ ප්‍රථම වතාවට ආදිවාසී කාන්තාවකට සභික ධුරයක්


ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසී කාන්තාවක් පසුගියදා පැවැත් වූ පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවක් ලෙස  දෙහිඅත්තකණ්ඩිය හේනානිගල දකුණ සහ උතුර බහු ආසනය වෙනුවෙන් තරග කළාය. ඇය නමින් ඩබ්.එම් ශිරෝමාලා (37) නම් වේ.  අපොස (සා.පෙළ) දක්වා ඉගෙනුම ලබා ඇති ඇය තිදරු මවකි. ශිරෝමාලා ඡන්ද 1369ක් ලබා ගනිමින් මෙරට ඉතිහාසයට එක්වන්නේ ප්‍රථම ආදිවාසී මහජන නියෝජිතවරිය ලෙසයි.

ඇය  ලැබූ ජයග්‍රහණය පිළිබඳ මෙසේ පැවසුවාය.

''මට මුලින්ම කියන්න තියෙන්නේ අපේ රැහේ ඇත්තන්ට මෙතෙක් කල් නොවිසිදුණු  ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න ඔක්කෝම  විසදන්න බැහැ. ටිකක් හරි විසඳන්න උත්සාහ කරනවා. ඒ විශ්වාසය තියලා තමයි අපේ රැහේ අය වාගේම අනිකුත් අය මාව පත්කර ගත්තේ. ඒ නිසා මම කැමති නැහැ ඒ විශ්වාසය නැතිකර ගන්න. ගිලිහී යන අපේ සංස්කෘතිය, ආගම රැක ගන්නත්, ගමේ, රටේ සංවර්ධනයට උපරිමය සහයෝගය ලබා දී කටයුතු කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභාවටත්, පාර්ලිමේන්තු මැතිවරණවලටත් ඉදිරිපත් වීම තමයි මගේ එකම බලාපොරොත්තුව.''

ශ්‍රී ලංකාවේ ආදිවාසී පරපුරේ 19 වෙනි නායකයා වන ඌරුවරිගයේ වන්නිල ඇත්තෝ තම පරපුරේ කෙනෙකු මන්ත්‍රීවරියක වීම පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

''අපේ රැහේ කැකුළියක් මන්ත්‍රීවරියක් වීම පිළිබඳ ලොකු සතුටක් පපු කැනැත්තට දැනෙනවා. ඒ වගේම ලොකු බයකුත් හිත් පොජ්ජට දැනෙනවා. මොකද කියනවා නම් අද අපේ රටේ ඉන්නේ දේශපාලඥයන්,  පාලකයන් නෙවේ. ජනතාව රවට්ටමින් බොරුව, දූෂණය, වංචාව සහ රට විනාශ කරන දේශපාලන ක්‍රමයක් තමයි පවතින්නේ. එවැනි ක්‍රම අනුගමනය කරන තැනකට වාගේම, එවැනි මිනිස්සු ඉන්න පරිසරයකට යන විට කල්පනාකාරී විය යුතුයි.

මේ ඇත්ති මම ඇතුළු හේනානිගල නායක ඇත්තන්ගේ අවවාද, අනුශාසනා වලට පිටින් වැඩ නොකරන බවට අපට විශ්වාසයි. අපේ ප්‍රශ්න ගැටලු මෙතෙක් කල් කියන්න සිද්ධ වුණේ වෙනත් පක්ෂයක, වෙනත් වරිගයක අයට තමයි. නමුත් දැන් අපේ ප්‍රශ්න ගැටළු කියන්න අපේම කැකුළියක් ඒ තැනෙහි ඉන්න එක පිළිබඳව මා පමණක් නෙවේ, අපේ රටේ ගම්මාන 62ක ජීවත්වන ආදිවාසී සියලු ජනතාව සතුටු වෙනවා. ඒ වගේම තමයි මගේ පූර්ණ ආශිර්වාදය ඇයට ලබා දෙනවා.

ඉදිරියේදී පැවැත්වෙන ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ සඳහා රට පුරා තිබෙන අපේ ආදිවාසී ගම්මාන නියෝජනය වෙන පරිදි කැකුළන්, කැකුළියන් ඉදිරිපත් කර ජයග්‍රහණ  ලබාගෙන රටත්, ස්වභාවධර්මයත්, රැහේ පිරිස වාගේම අපේ සංස්කෘතිය සහ රටේ සංවර්ධනයට දායක වීම අපේ එකම බලාපොරොත්තුවයි.''

PIX--01--ADI copy PIX--06--ADI copy PIX--08--ADI copy PIX--09--ADI copy PIX--13--ADI copy PIX--14--ADI (2) copy



Recommended Articles