ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්රදාය දශක 07 සම්පූර්ණ වීමට ඇත්තේ තවත් මාස කිහිපයකි. පාර්ලිමේන්තු ඉතිහාසයේ නම රැන්දූ පුද්ගල චරිත විශාල ප්‍රමාණයක් මෙන්ම පාර්ලිමේන්තු ක්රමයේ අභිමානය සංකේතවත් කළ සුවිශේෂ නිර්මාණ කිහිපයක්ද වෙති. ඒ අතර, පාර්ලිමේන්තුවේ බලය සංකේතවත් කරනුයේ සෙන්කෝලයයි.
1972 ජනරජ ව්‍යවස්ථාවට පෙර උත්තර මන්ත්‍රී මණ්ඩලය (සෙනෙට් සභාව) සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙස ද්වි මණ්ඩල ක්‍රමයක් ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභා සෙංකෝලය වර්තමානයේ භාවිතයට නොගැනුණද මේ ඓතිහාසික සංකේතය පාර්ලිමේන්තුවේ සුවිශේෂ කෞතුක භාණ්ඩයක් ලෙස ඉතා සුරක්ෂිතව තැන්පත් කර ඇත.
1949 දී බ්‍රිතාන්‍ය රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබාදුන් එදා නියෝජිත මන්ත්‍රී මණ්ඩල සැසිවාරවලදී භාවිත කළ සෙන්කෝලය වත්මන් පාර්ලිමේන්තුවේ භාවිත වන අතර, ශ්‍රී ලංකාවේ කලාකරුවන් විසින් නිර්මිත එකම සෙන්කෝලය සෙනෙට් සභා සෙන්කෝලයයි. 1956 දී තමන්ට ලබාදුන් සැලැස්ම අනුව අඟල් 52කින් දිගින් යුතුව ඇත් දළයකට කැරට් 20ක රන් පවුම් 45කින් හා රිදී රාත්තල් 3 ½ කින් කැටයම් දමා පච්චවඩම්, නිල් මැණික් සහ නවවරම් මාණික්‍යයන් ඔබ්බවා නිර්මාණය කරන ලද්දේ එවකට සුප්‍රසිද්ධ විශිෂ්ට රන්කරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් පත්ව සිටි රඹුක්කන දොඹේමඩ ගම්මානයේ පදිංචි ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා විසිනි.
මෙම විශිෂ්ට කලාකරුවා අද 88 වියැතිය. අඩ සියවසකටත් පෙර නිමවා බාරදුන් මෙම අතිශය සම්භාවණීය සංකේතය අසලටවත් සමීප වීමට එදාමෙදාතුර ඔහුට වරම් හිමි නොවීය. දෑත, දෙපය හොඳින් වාරු තිබුණු සමයේ තමා විසින් කළ නිර්මාණය ස්වකීය දරු මුණුබුරන් කැටුව විත් යළි ස්පර්ශ කර බැලීමට දැඩි කැමැත්තක් ඔහු තුළ ඇති බව දැනගත් කථානායක කරු ජයසූරිය මහතා අද (16දා) ඔහු පාර්ලිමේන්තුවට කැඳවා එම අවස්ථාව සැලැස්වූයේ විශේෂ භෝජන සංග්‍රහයක් සහ තුටුපඬුරුද පිරිනමමිනි.
මෙම සෙන්කෝලයේ උඩ කොටස පෙති අටකින් සමන්විත පත්මයක් මත පිහිටි උල් හැඩයට ඇති පච්චපඩියම් මාණික්‍යයකින් සෑදු ඔටුන්නකින් සහ ගෝලය පුන්කලසක හැඩරුවින් සමන්විත වේ. ගෝලය වටා ඇති රැලිවලින් අනුරාධපුරයේ සඳකඩපහණ මූර්තිමත් කෙරේ. එයට පහළින් ලංකාවේ රක්ත හා නීල මාණික්‍යයන් ඔබ්බවා තිබේ. සෞරග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයන් පිළිබිඹු වනසේ පහත කවයෙහි නවරත්න මාණික්‍යයන් සවිකර ඇත.
සෙන්කෝලය කොටස් 45කට ගැළවිය හැකි පරිදි එක් රහස් ඇණයකින් සවිකර ඇති බවත්, එම රහස් ඇණය ගැන දන්නේ තමන් පමණක් බවත් පියතිලක මහතා පවසයි. එහි මුළු බර රාත්තල් හතරහමාරක් වන අතර, එහි යෂ්ටිය වටේට එවකට සෙනෙට් සභාවේ ලාංජනයෙහි 'සංතින්ද්‍රියෝච නිපකෝච' යන පාලි පාඨය සඳහන්ව තිබූ බව ඔහු පැවසීය.
ජපානයේ මිසාකා කුමරියට, ඉන්දීය හිටපු අගමැති ශ්‍රී නේරුතුමාට, එවකට ලංකාවට පැමිණි පාකිස්තානයේ රාජ්‍ය නායකයෙකුට පවා පියතිලක මහතා විසින් නිර්මාණය කළ භාණ්ඩ රජය විසින් තිළිණ කර තිබේ.