බදුල්ලේ පදිංචි එම්.එන්. අමානි රායිදා (07) කුඩා දැරිය සිය දෙමව්පියන් සමග පසුගියදා තම ගම්මානයේ සිට කොළඹට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
කුඩා දැරියක් තමා හමුවීමට ආශාවෙන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින බව දැනගත් ජනාධිපතිවරයා කෙතරම් කාර්ය බහුල තත්ත්වයක සිටිය ද තම ආරක්ෂක නිලධාරීන් යවා දැරිය තමා අසලට ගෙන්වා ගනිමින් ඇයගේ ආගිය තොරතුරු විමසුවේය.
ජනාධිපතිවරයා සමග පිළිසඳරක නිරත වූ දැරිය එහිදී තමා අතින් ඇඳි චිත්‍රයක් ජනාධිපතිවරයාට වෙත පිළිගැන්වූවාය.
මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයාසමග පිළිසඳරේ යෙදී සිටි දැරිය බදුල්ලට පැමිණෙන්නේ නම් තම නිවසට ද එන ලෙසද එසේ පැමිණෙන්නට පෙර දුරකථන ඇමතුමක් ලබාදෙන ලෙස ද ඇය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියාය.
දැරියගේ ඉල්ලීම ඉවත නොදැමූ ජනාධිපතිවරයා ඊයේ බදුල්ලේ පැවති ජනහමුවට සහභාගීවීමෙන් අනතුරුව ඇයගේ නිවසට ද පැමිණියේය.
මෙහිදී අමානි රායිදා කුඩා දැරිය තම නිවසට පැමිණි ජනාධිපතිවරයා මහත් සෙනෙහසින් යුතුව පිළිගත් බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
දැරිය ඉදිරිපත් කළ ගීතයක් රසවිඳිමින් සහ කුඩා දරු දැරියන් සමග ගීත ගායනයකට ද එක්වෙමින් මොහොතක් ගත කළ ජනාධිපතිවරයා නැවත කොළඹ පැමිණෙන විට තමා බලන්න එන්නැයි ඔවුන්ට ඇරයුම් කළ බවද ජනපති මාධ්‍ය අංශය පවසයි.