ඔස්ට්‍රියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ අවුකන රජමහා විහාරයේ නවාතැන් ගනිමින්, විහාරස්ථානයේ පිහිටි අවුකන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු විහාර භූමිය ශුද්ධ පවිත්‍ර කරමින්, භාවනායෝගීව ජිවත් වන කාර්මික ඉංජිනේරුවරයෙකු පිළිබදව අනුරාධපුර විජිතපුර අවුකන විහාරස්ථානයෙන් වාර්තා වේ.
1966 ජූලි 11 දින ඔස්ට්‍රියානු රටේ උපත ලැබූ ජොෂප් ප්‍රිට්සර් සිය පවුලේ සාමාජිකයන් සමඟ 1988 දී ප්‍රථම වරට මෙරට සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ ලංකාවේ තිබෙන ලෝක උරුමයන් ඇතුළු සිද්ධස්ථාන වැඳපුදා ගැනීමෙන් අනතුරුව ගලින් නෙළන ලද සුවිශේෂී නිර්මාණයක් වූ අවුකන පිළිම වහන්සේ කෙරෙහි ඔහුගේ සිතේ දැඩි භක්තියක් ඇතිව තිබේ.
ඉන් පසු වරින් වර බිරිඳ හා දරුවන් සමග කිහිප වතාවක් මෙරට සංචාරයේ යෙදී ඇති ජෝෂප් මහතා ඒ සෑම අවස්ථාවකදීම අවුකන විහාරයට පැමිණ වැඳපුදා ගෙන විහාරස්ථාන නායක හිමිපාණන් බැහැදැක ආශීර්වාද ලබාගැනීම ජීවිතයේ අනිවාර්යය අංගයක් කරගෙන තිබේ.
බිරිඳ සමඟ පසුගිය 2016 වසරේ දෙසැම්බර් මස දිවයින පැමිණි ජෝෂප් මහතා, නැවත එරටට ගොස් පසුගිය අගෝස්තු මස තනිවම ලංකාවට පැමිණ, අවුකන විහාරාධිපති හිමියන්ගේ අවසර ඇතිව විහාරස්ථාන භූමියේ නවාතැන් ගෙන දිනපතා මුළු විහාරස්ථ භූමියම ශුද්ධ පවිත්‍ර කරමින් වර්තමානයේ කාලය ගත කරයි.
පාන්දරින් අවදි වන ඒ මහතාගේ දිනචර්යාව අනුව පාන්දර 06.00 ට, උදෑසන 10.00 ට, ප.ව. 02.00 හා රාත්‍රී කාලයට අවුකන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිටට වී භාවනා කිරීම පුරුද්දක් කරගෙන තිබේ.
ඒ පිළිබඳව අදහස් දැක්වූ ජෝෂප් මහතා,
“මාගේ වයස අවුරුද 51යි. මා ඉපදුනේ ඔස්ට්‍රියවේ. එය යුරෝපීය රටක්. මා මුලින්ම පවුලේ උදවිය සමඟ ලංකාවට පැමිණි අවස්ථාවේදී අවුකන පිළිමය දැකීමෙන් අනතුරුව ආධ්‍යාත්මික සිතක් පහළ වුණා. එතැන් සිට මා වරින් වර ලංකාවට පැමිණ එම පිළිම වහන්සේ වැඳපුදා ගන්නවා. ඒ අතරතුරදී මා දුටු එක් දසුනක් තමයි පිළිම වහන්සේ දැකබලා ගැනීමට පැමිණෙන පාසල් ළමුන් හා වැඩිහිටි බැතිමතුන් විහාරස්ථාන භූමිය පොලිතින්, ප්ලාස්ටික් වැනි දේ බැහැර කර අපවිත්‍ර කර යාම. ශ්‍රී ලංකාව සුන්දර රටක්. කාලගුණයේ අයහපත් බලපෑම් අවම රටක්. ලෝක උරුමයන් තිබෙන රටක්. ආගන්තුක සත්කාරවලින් ඉහළ රටක්. එවැනි රටක ඉපදී මේ උරුමයන් රැකගැනීමට කැපවන්න කියා මා ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
මෙවර ලංකාවට පැමිණ අවුකන විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන්ගෙන් අවසර ලබාගත්තා මා ආධ්‍යාත්මික භාවනාවේ යෙදීමට. ඒ අතරතුරේදී විහාරස්ථාන භූමියේ දෛනිකව ගොඩගැසෙන කුණු කසළ ඉවත් කිරිමද මා විසින් සිදුකරනවා. එම කාර්යයත් එක්තරා භාවනාවක් හැටියටයි මා දකින්නේ. එය ඉතා අර්ථවත් ක්‍රියාවක්.
මේ පිළිමය අපි සියලු දෙනාගේම වස්තුවක්. මේ වසර අවසානයේදී මා මාගේ රටට යාමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒත් ජීවිත කාලය පුරා අවස්ථාවක් ලැබෙන සෑම විටකදීම අවුකන විහාරස්ථානයට පැමිණ වන්දනාමාන කර ශුද්ධ පවිත්‍ර කටයුතු කිරීමට මා කැපවී සිටිනවා" යැයි පවසා සිටියේය.