පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනාගේ වගකීම වී තිබෙන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම බවත්, මේ නිසා ආණ්ඩුවේ තනතුරු ලබාගෙන හෝ අලුතින් ඇතිකරන තනතුරු ලබාගෙන එම කටයුත්ත සිදුකිරීමට දායකත්වය දක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පක්ෂ වලින් ඉල්ලීමක් කරයි.
ආණ්ඩුව තුළ තිබෙනා අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය තනතුරුවලට අමතරව ඉදිරියේදී තේරීම්කාරක සභා සහ දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු දිස්ත්‍රික්ක මට්ටමින් ඇතිකරන බවත්, එහිදී දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුවලට සභාපති තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්කරන බවද පවසා සිටියේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ
අගමැතිගේ සම්පූර්ණ ප්‍රකාශය
මේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාව ජනවරම ලබාදුන්නේ ජනවාරි මස අට වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් ආරම්භ කළ විප්ලවය තහවුරු කරමිනුයි. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ මන්ත්‍රීවරුන් බහුතරය යහ පාලනය අනුමත කරමින් ආ අය බව කිව යුතුයි. එම නිසා යහ පාලනය වෙනුවෙන් ආරම්භ කළ මේ ගමන කිසිසේත් යළි හැරවිය නොහැකියි.
ඒ අනුව ඊළඟ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මම ඒ සියලූ වගකීම් සහ වැඩ කටයුතු භාර ගෙන ක්‍රියා කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී මේ කරුණු කාරණා සම්බන්ධයෙන් මම දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ අතර එතුමා සමග අප මේ යහ පාලනය ඉදිරියට ගෙන යන්න ඇප කැප වනවා.
මේ මහ මැතිවරණයට අප ඉදිරිපත් වූයේ සම්මුති වාදයක් ඇති කර ගෙන ඒ ඔස්සේ ඉදිරියට ගමන් කිරීමටයි. රටත්, ජනතාවත් මුහුණ දී සිටින ප්‍රශ්න දෙස පුළුල් ලෙස අවධානය යොමු කර ඒ සියලූ ප්‍රශ්න විසදීම සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පාර්ශවයන් එකට ඒකරාශි කර ගැනීම අපේ මූලිකම අරමුණ වුණා. ඒ මූලික අරමුණෙන් කිසිසේත් ඉවත් නොවන අප ඒ අරමුණ ඉටු කර ගැනීම සදහා ඇප කැප වී වැඩ කටයුතු කරනවා.
ඒ අනුව සම්මුති වාදයෙන් ඉදිරියට ගමන් කරමින් ඒ ජාතික කාර්ය භාරය ඉටුකිරීම සදහා අප සමග එකට ඒකරාශී වන්නැයි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවලට මම මේ අවස්ථාවේදී ආරාධනා කර සිටිනවා. මේ ජාතික කාර්යභාරය ඉටු කිරිම සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ ඒ දේශපාලන පක්ෂවලට ආණ්ඩුවට බැදී ඒ ඒ තනතුරු ලබා ගෙන ක්‍රියා කිරිමට හෝ පාර්ලිමේන්තුවේ අලූතින් අප ඇති කරන තනතුරු ලබා ගෙන ක්‍රියා කිරිමට අවස්ථාව තිබෙනවා. මේ විකල්ප දෙකෙන් එකක් තෝරා ගෙන අප සියලූ පාර්ශවයන් එකට එක්වී මේ ගමන ඉදිරියට යා යුතු යැයි මම යෝජනා කරනවා.
මේ වැඩ කටයුතු සදහා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබා ගැනීමට අප ක්‍රියා කරන අතර ඇමති මණ්ඩලය, නියෝජ්‍ය ඇමතිවරුන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කළ ඒ ඒ තනතුරුවලට අමතරව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා ඇති කිරීමට ද අප පියවර ගන්නවා.
එමෙන්ම ඒ ඒ දිස්ත්‍රික් සංවර්ධනය කිරීම සදහා දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ මණ්ඩලවල සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පත් කරන අතර පොකුරු ගම්මාන වෙනුවෙන් දේශපාලකයින් නොමැති ග්‍රාම රාජ්‍ය කමිටු පත් කිරීමට ද අප කටයුතු කරනවා. එපමණක් නොව සිවිල් සංවිධාන අංශයෙන් උපදෙස් ලබාගත හැකි වන අයුරින් උපදේශක සභාවක් ඇති කිරීම කෙරෙහි ද අපේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.
මට අවශ්‍ය වී තිබෙන්නේ අපේ සර්වාගමික නායකයින් ඇතුලූ සියලූ පාර්ශවයන් මේ ජාතික කාර්යභාරය වෙනුවෙන් එකට ඒකරාශී කර ගැනීමටයි. ඒ අනුව ක්‍රියා කරමින් පරණ දේශපාලනය පසෙක තබා මේ රටත්, ජනතාවත් මුහුණ දී සිටින මූලික ප්‍රශ්න පිළිබදව අවධානය යොමු කර පොදු එකගතාවයකට පැමිණ ඒ ප්‍රශ්න සදහා අවුරුදු පහක් හෝ දෙකක් ඇතුළත දී විසඳුම් ලබා දීමට අපි ක්‍රියා කරමු.
මේ වැඩ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා ජනතාවගෙන් අප වරමක් ඉල්ලා සිටි අතර ඒ සැලැස්ම පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර ඒ ඔස්සේ ජාතික එකගත්වයකින් යුතු ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කිරීමට අප පියවර ගන්නවා. අග්‍රාමාත්‍යවරයා ලෙස මම දිවුරුම් දුන්නාට පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් සමග එකට එකතු වී අනෙකුත් දේශපාලන පක්ෂ සමග ද සාකච්ඡා කර සම්මුති වාදයකින් යුතුව මේ රට ඉදිරියට ගෙන යනවා.
මේ යහ පාලනය අනුමත කරන්නැයි පාර්ලිමේන්තුවෙන් අප ඉල්ලා සිටින අතර ඒ යහ පාලනය සම්මත කරමින් සම්මුති වාදය ඔස්සේ ඊට එක්වන්නැයි ද සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ ක්‍රියාවලියෙන් සහ ස්ථාවරයෙන් ඈත් වීමට කිසිවකුට හැකියාවක් ඇත්තේ නැහැ. යමෙක් මේ මාර්ගයෙන් එසේ ඈත් වනවා කියන්නේ ජනතාවට විරුද්ධ වීමක් බව කිව යුතුයි.
ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ ඒ අයගේ ප්‍රශ්න විසදා ගැනීමට වන අතර ඉතාම සාමකාමී සාධාරණ සහ අපක්ෂපාති මැතිවරණයක් පැවැත්වීමට ද අපට හැකි වුණා. මේ වාතාවරණය සමාජයේ තාවකාලිකව නොව සදාකාලිකවම තිබිය යුතු බව අපේ ස්ථාවරයයි.
එසේ නම් මේ මාර්ගයේ ඉදිරියට ගමන් කරමින් තරුණ, තරුණියන් ඇතුලූ සමස්ථ ජනතාවගේ ප්‍රශ්න විසදිය හැකි පාලනයක් අප මේ රටේ ඇති කළ යුතුයි. එසේ ක්‍රියා කරමින් මේ රටේ පක්ෂ දේශපාලනය අලූතින් ගොඩ නැගීමට අප ක්‍රියා කළ යුතුව තිබෙනවා.