’මහින්ද රාජපක්ෂ’ නම වෙනස් කරයි - පෞද්ගලික ආයෝජකයෙකුට දෙන්න යයි


හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණය පුද්ගලික අංශයේ ආයෝජකයකු තෝරාගෙන  ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා සංකීර්ණයක් ලෙස ජාතියට දායාද කිරීමට ඉදිරි මාස කිහිපය තුළදී වැඩ ආරම්භ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති සුනිල් ගමගේ මහතා පැවසීය.

ඒ සඳහා මේ වන විට දේශීය හා විදේශීය ආයෝජකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කර ඇති බවත් ඉන් වඩාත් සුදුසු ආයෝජකයා තෝරාගෙන ඉදිරි මාස කිහිපය තුළදී  මෙහි ඉදිකිරීම් ආරම්භ කරන බව ඇමතිවරයා වැඩිදුරටත් කීය.

එසේම මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීමේදී සිදුව ඇතැයි කියන වංචා දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට විමර්ශන කමිටුවක් කඩිනමින් පත් කොට ඊට සම්බන්ධ අයට තරාතිරම නොබලා දඬුවම් කරන බව ද ඇමැති සුනිල් ගමගේ මහතා මෙහිදී කියා සිටියේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (11) දා  හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අපේ රටේ සම්පත් ඵලදායිව ජනතා සුබ සිද්ධියට යොදවා , වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් හරහා හොරුන්ට දූෂිතයින්ට දඬුවම් කිරීමයි අරමුණ.

ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය අපි භාරගත්තට පස්සේ තරුණයා හා ක්‍රීඩාව ගොඩනැගිය යුතු ආකාරය පිළිබඳව පසුගිය  මාසයක කාලයක සිට සොයා බැලුවා. එහිදී දියගම ක්‍රීඩා සංකීර්ණය , සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය හා ජාතික තරුණ සේවා සභාව ඇතුළු අපේ අමාත්‍යංශයට අයත් ආයතන නවයක් පිළිබඳව දීර්ඝ විමර්ශනයක අපි යෙදුනා.

එහිදී අපට අනාවරණය වුණෙ මේ ක්‍රීඩා අමාත්‍යංශයත් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි.එයට පුදුම විය යුතු නැහැ.මොකද සියල්ල කැඩුණු බිඳුණු ගරා වැටුණු රටක ක්‍රීඩා අමාත්‍යාංශය  විතරක් ඉතුරු වෙන්න විදිහකුත් නැති නිසා.

ඒ වගේම තමයි අපේ අමාත්‍යංශය අර්බුද රැසකට මුහුණ දීල තිබුනෙ.වංචා දූෂණ චෝදනා තිබුණා. ඇතැම් අවස්ථාවලදී අපේ රට ඊට යහපත් ප්‍රතිචාර දැක්වූවෙ නෑ. ඒ නිසා තමයි ඉකුත් 10 දා ජාත්‍යන්තර ඔලිම්පික්  කමිටුවෙන් අපේ රටට දීපු ආධාර නැවැත්තුවේ. ඒ පිළිබඳව අපි දැඩි අවධානය යොමු කරලා චෝදනා ලැබූ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කළේ.

එසේම ක්‍රීඩා සංගම්වලත් ගොඩක් ගැටලු තිබුණා. ඇතැම් ආයතනය අපිට එරෙහිව නඩු දාලා තිබුණා. අපි ඒ සංගම් සමඟ සාකච්ඡා කරලා බොහෝ නඩු ඉවත් කර ගැනීමට එකගතාවයක් ඇති කරගත්තා.
එය අපේ ගමනෙදි ලොකු ජයග්‍රහණයක්.
අපිට ඕනේ මේ රටේ ක්‍රීඩාව ජාතික හා ජාත්‍යන්තර තලයට ඔසවා තබන්න. එහිදී පෞද්ගලික න්‍යාය පත්‍රවලට මුල් තැනක් නැහැ.

පසුගිය අයවැයෙන් මිලියන 1300 අපිට වෙන් උනේ. නමුත් මෙවර අයවැයෙන් මිලියන 6000 අපිට ලැබෙනවා. ඒ හරහා ක්‍රීඩාව ගොඩනැගීම, ක්‍රීඩා උපකරණ ලබාදීම , ක්‍රීඩාංගන ඉදිකිරීම ඇතුළු වැඩ ගොඩක් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩකාවන්ගේ අදහස් සහ යෝජනාවලට අනුව ජාතික ක්‍රීඩා සැලැස්ම නුදුරු දිනකදී එළිදැක්වීමට පියවර ගන්නවා.මේ අතරතුරේදී තමයි දියගම ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමට හැකි තැනක් ලෙස ගොඩනැගීමට පියවර ගන්නෙ.

ඒ අනුව තමයි අපි දියගම ක්‍රීඩා සංකීර්ණයට ආවේ. එහිදී අපට දැක ගන්නට ලැබුණේ ඉතාම ඛේදනීය තත්ත්වයක්. අපේ භාෂාවෙන් කියනවනම් ගන්න දෙයක් නෑ. පිහිනුම් තටාක දෙකක් වතුර පුරවලා තියෙනවා. පිහිනන්න බෑ. වොලි බෝල් ක්‍රීඩාංගණයක් හදන්න වැඩ අරම්භ කරලා අතරමග නවත්වලා.  මේ ක්‍රීඩාංගනය ඇතුලේ කැලෑවක් මැද වසර හතරක පමණ සිට සීල් කරපු කන්ටේනර් පෙට්ටියක් ඇතුළේ තිබී මිලියන ගණනක් වටිනා විදුලි ජනන යන්ත්‍රයක් හමු උනා. ඒක ගෙනාපු දවසක් භාරගත්තු කෙනෙක් වැය කරපු මුදලක් පිළිබඳව කිසිම සටහනක් නෑ.
ඔන්න ඔහොම තමයි හිටපු ගොඩක් ඇමතිවරු වැඩ කරලා තියෙන්නේ. ඒ අය මේව දැකලවත් නෑ.

මෙම ක්‍රීඩා සංකීර්ණය පාලනය වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ නම් පදනමකින්.එහි පරිපාලනයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාත් ඉඳලා තියෙනවා.

මේ ක්‍රීඩා සංකීර්ණය ඉදිකරන්න කොපමණක් මුදලක් වැය කළාද කියලා කිසිම සටහනක් නෑ.  බැලූ බැල්මට බිලියන ගණනක් මුදල් වැය කරලා තියෙනවා.ඇතැම් අවස්ථා වලදී මිලියන 5000, 6000 වගේ මුදල් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරගෙන තියෙනවා.ඉකුත් 2024 වසරේ මිලියන 100 වෙන් කරලා තිබුන. මේ මුදල් වැය කරලා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයට ඉඩම පවරගෙනවත් නෙමෙයි.

මේවා ජාතික අපරාධ. මහජනයාගේ බදු මුදල් නාස්ති කිරීමක්. ඒ නිසා මේවා පිළිබඳව පූර්ණ විමර්ශනයක් කරලා දඬුවම් දීම අපේ යුතුකමක් හා වගකීමක්. ඒ සඳහා  ක්‍රීඩා අමාත්‍යංශය කඩිනමින් කමිටුවක් පත් කරල එහි නිර්දේශවලට අනුව වරදකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරන්න පියවර ගන්නවා.

ඒ විතරක් නෙවෙයි මේ ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා කළ හැකි තැනක් ලෙසට පත් කරමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමට යා හැකි ක්‍රීඩකයන් තැනීම අපේ අරමුණයි. එහිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක්, පාපන්දු ක්‍රීඩාංගණයක්,පිහිනුම් තටාකයක්, හා ධාවන පථය පළමු අදියරේදී ඉදි කරනවා . මේ සඳහා විශාල මුදලක් වැය වේවි. ඒ සදහා  දේශීය හෝ විදේශීය ආයෝජකයෙකු තෝරාගෙන සිදු  කිරීමටයි සැලසුම් කලේ. මේ වනවිටත් කිහිපදෙනකු සමඟ සාකච්ඡා කර තිබෙනවා. අවසන් තීරණයකට එළඹ නැහැ. මේ වසර තුළදී අපි වැඩ ආරම්භ කිරීමටයි අපි අපේක්‍ෂා කරන්නෙ.

එහිදී සමහරවිට මේ ක්‍රීඩාංගනයේ නම පවා වෙනස් කරන්න වේවි. නමට ගැලපෙන විදිහට වැඩ කරලා තියෙනවා. නමුත් නම පවතින විදිහට වැඩ කරල නැති නිසා. තවදුරටත් මේ නම යටතේ ඉදිරියට ගියොත් ජාත්‍යන්තරය පවා භය  වේවි.

ශාන්ත කුලරත්න

 

 



Recommended Articles