සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයෙදී පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි තරගයද ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් පසුවෙයි.
කාසියේ වාසියේ දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 164/6ක් රැස්කළේය.
ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී රැස්කළ හැකිවූයේ ලකුණු 164 පමණි.
ශ්‍රී ලංකාවේ මුල් කඩුලු 4 ලකුණු 67ක් තුළදී දැවී ගියත් නායක දසුන් ශානක (ලකුණු 34 (පන්දු19)) හා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක (ලකුණු 71 (පන්දු 53)) තරගය නැවතත් ශ්‍රී ලංකාව දෙසට ගෙන ආහ.
ශ්‍රී ලංකාවට අවසන් පන්දු 18දී ලකුනු 46ක් අවශ්‍යව තිබුණි. කෙසේ වෙතත් පැතුම් නිශ්ශංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් තරගය ඉදිරියට ගෙන ගියේය.
මේ අනුව තරගය සුපිරි පන්දුවාරයක් කරා යොමුවිය. එහිදී ශ්‍රි ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු පහක් පමණි. ඔස්ට්‍රේලියාව පන්දු 3කදී එම ඉලක්කය පසුකර ගියේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පන්දුවාරය යොමු කළේ වනිඳු හසරංගයි.