ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සදහා පිටත්ව යයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමානයේ පැවැත්වෙන තරගාවලියකට සහ ඉන් අනතුරුව විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට  10/04 දින දහවල්  කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .

මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 23 දෙනෙකු සහ පුහුණුකරුවන් හා නිලධාරීන් 13 දෙනෙකු වශයෙන් , සමස්ථ කණ්ඩායම 36 දෙනෙකුගෙන් සමන්විත වන බව කණ්ඩායමේ නායක දසුන් ශානක ගුවන් තොටුපළේ දී සිදු කළ විමසීමකදී පැවසීය .

මෙම ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම ඕමානයේ පැවැත්වෙන තරගාවලිය සදහා ඕමානය බලා පිටත්ව ගියෝය .

ඒ අනුව ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම 10/03 දින රාත්‍රී 10.30 ට  ඕමානයේ මස්කට් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට නියමිතව තිබුණි .

ඒ සදහා    ඔවුන්ගේ බඩුබාහිරාදිය , ලොරි දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණියද , මෙම ක්‍රීඩකයන් රැගෙන යාමට නියමිත ගුවන් යානය  , එරට පවතින අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වය නිසා , සිය ගුවන් ගමන අවලංගු කරමින් , කටුනායක ගුවන් තොටුපළ  වෙත නොපැමිණියේය .

එම නිසා ක්‍රීඩකයන්ගේ බඩුබාහිරාදිය ආපසු 10/03 දින රාත්‍රී 08.00 ට පමණ , කටුනායක ගුවන් තොටුපළේ සිට ක්‍රීඩකයන් නැවතී සිටි හෝටලය වෙත ආපසු  රැගෙන යෑමට පියවර ගෙන තිබුණි .

ඉන්පසුව 10/04 දින දහවල් 01.15 මෙම ක්‍රීඩකයන් සහ නිලධාරීන් පිරිස රැගෙන ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 2372 දරන ගුවන් යානය ඕමානයේ මස්කට් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .

ඕමානයේ මෙම තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ශුරතා තරගාවලිය සදහා ඩුබායි නුවර වෙත පැමිණීමට නියමිතය .



Recommended Articles