වනිඳුට විනය කඩකලේ යැයි දඩුවමක්


ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග , විනය කඩ කිරීමේ ‌චෝදනා ඔප්පුවිම මත දඩුවම් නියම කිරිමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) පියවර‌ගෙන ඇත.

ඇෆ්ගනිස්ථානය සමගින් ඊයේ (30දා) පැවති තරගය අතරතුරදී විනිසුරු තීරණයකට සිය විරුද්ධත්වය පෙන්වීම යන චෝදනා මත වනිඳුට මෙම දඩුවම් නියම කර ඇත. එය අයි.සී.සී. ආචාර ධර්ම සංග්‍රයයේ 2.8 වැනි වගන්තිය කඩකිරීමක් ලෙස අයි.සී.සී.ය තීරණය කර ඇත.

 තරග‌යේ 26 වැනි පන්දුවාරයේ වනිඳු විසින් යැවූ පන්දුවකට ප්‍රතිවාදී පිතිකරු වූ නජිබුල්ලා සද්‍රාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූවෙකු ලෙස පිටියේ විනිසුරු ක්‍රියා කලේය. නමුත් තෙවැනි විනිසුරු විසින් එය නොදැවීමක් ලෙස තහවුරු කලේය.

 එහිදී වනිඳු එම තීරණයට සිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් එම තීරණය පෙන්වූ රූපවාහිනී තිරයට සිය දෑත් දික් කිරීම වරදක් ලෙස අයි.සී.සී. තීරණය කර තිබිණ.

 මේ සම්බන්ධව පිටියේ විනිසුරුවන් වූ නිටින් මෙනොන්, ලින්ඩන් හැනිබල් දෙදෙනාත්, තෙවැනි විනිසුරු වූ රවීන්ද්‍ර විමලසිරි, සිව්වැනි විනිසුරු වූ රුචිර පල්ලියගුරුගේ යන අය පැමිණිලි කර තිබිණ.

මේ අනුව වනිඳු තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතා හමුවේ සිය වරද පිළිගෙන තිබිණ. මේ අනුව වනිඳුගේ විනය වාර්තාවට ඒක් අසාදු ලකුණක් (demerit point) එක්වී ඇති අතර ඒය පසුගිය මාස 24 ක කාළය තුළදී ඔහුට එරෙහිව එල්ලවූ පළමු අසාදු ලකුණද වේ.  



Recommended Articles