චාර්ල්ස් මචං


ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමගින් එක්වීම පිළිබඳ තමන් ඉතා උනන්දුවෙන් පසුවන බව කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු ජොන්සන් චාල්ස් පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සිය කණ්ඩායමට එල්.පී.එල්. ශූරතාව දිනාගැනීමට සුභ පැතීමටද ඔහු අමතක කර නැත.

“ජැෆ්නා කණ්ඩායම සමඟින් එක්වීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් මම හරි උනන්දුවෙන් ඉන්නේ. ඒ වගේම මගේ කණ්ඩායම් සඟයින්ට එල්.පී.එල් ශූරතාව ජයග්‍රහණ​ය කිරීමට මම සුභ පතනවා” චාල්ස් සිය වීඩියෝවෙන් පවසයි.

'වාඩ මචං' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම එල්.පී.එල්. තරගාවලියේ විශාලම ප්‍රේක්ෂ​ක ආකර්ෂණය (biggest fan base) හිමි කණ්ඩායම ලෙස සැලකෙයි. විශේෂයෙන් කුමාර් සංගක්කාර මෙන්ම මහේල ජයවර්ධනද සිය ට්විටර් ගිණුම් හරහා ස්ටැලියන්ස් විශේෂයෙන් සඳහන්කර තිබීමෙන් එය වඩාත් තහවුරු විය.

කෙසේ නමුත් ජැෆ්නා කණ්ඩායමටද අවසාන මොහොතේ ක්‍රීඩ​ක ගැටලු කිහිපයකට මුහුණදීමට සිදු වූ අතර, ඒ අතරින් එංගලන්තයේ රවී බොපාරා එරටින් පිටත් වීමට පෙර අදාළ සම්පූර්ණ ගාස්තුව ලබාදෙන ලෙස කළ ඉල්ලීමට කණ්ඩායම් හිමිකරුවන් එකඟ නොවූ හෙයින් අවසානයේ ඔහු තරගාවලියට සහභාගි නොවන බව දන්වා සිටියේය.

කෙසේ නමුත් බොපාරාගේ ආදේශ ක්‍රීඩකයා ලෙස එක්වූයේ ජොන්සන් චාල්ස්ය. අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන චාල්ස්, 2012 සහ 2016 විස්සයි20 ලෝක ශූර කොදෙව් කණ්ඩායමේ සාමාජිකයෙකුද වෙයි.

 



Recommended Articles