කාන්තා අයි.පී.එල්. වැඩිම ලංසුව අදානිගෙන්


මෙම වර්ෂයේදී ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත කාන්තා පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා කණ්ඩායමක් මිලදී ගත් වැඩිම ලංසුවේ හිමිකරුවා බවට පත්වීමට අදානි ස්පෝට්ලයින් පෞද්ගලික සමාගම සමත්ව ඇත.

ඒ ඉන්දීය රුපියල් කෝටි 1,289ක දැවැන්ත ලංසුවක් තබමිනි. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 5,500කටත් අධික වන අතර, එය ඇ.ඩො. කෝටි 15.8ක් වේ. මෙම ලංසුව අදානි සමාගම විසින් ඉදිරිපත් කරමින් මිලදී ගෙන ඇත්තේ අහ්මදාබාද් කණ්ඩායමයි. මෙම කණ්ඩායම වෙනුවෙන් ගැනුම්කරුවන් 12 දෙනෙකු ලංසු තබා ඇත.

කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙම වර්ෂයේ මාර්තු මාසයේදී ආරම්භ වීමට නියමිත මෙම තරගාවලියේ කණ්ඩායම් 5ක්ම මේ වන විට මිලදී ගෙන අවසන්ය.

මිලදී ගත් අනෙක් කණ්ඩායම් අතරින් තුනක්ම මිලදී ගැනීමට වත්මන් අයි.පී.එල්. කණ්ඩායම් හිමිකරුවන් සමත්ව ඇත. එහිදී බෙන්ගලාරු කණ්ඩායම මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වී ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 901(රු. කෝටි 4000)කටය. දිල්ලි කණ්ඩායම දිල්ලි කැපිටල්ස් විසින් මිලදී ගෙන ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 810 (කෝටි 3602)කටය.

එමෙන්ම මුම්බායි කණ්ඩාය, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 912 (රු. කෝටි 4055)ක මුදලකටයි. ඊට අමතරව ලක්නව් කණ්ඩායම කැප්‍රි ග්ලෝබල් සමාගම විසින් ඉ.රුපියල් කෝටි 757 (රු.කෝටි 3356) ක මුදලකට මිලදී ගෙන ඇත. එය මේ දක්වා කණ්ඩායමක් මිලදී ගත් අඩුම ලංසු මුදල වේ.

එමෙන්ම චෙන්නායි, ධර්මසාලා, ගුවහාටි, ඉන්දෝ හා කොල්කටා කණ්ඩායම් තවමත් මිලදී නොගත් කණ්ඩායම් අතර රැඳී සිටින අතර, එම සියලු කණ්ඩායම් සඳහා සමස්ත ගැනුම්කරුවන් 46 දෙනෙකු ලංසු තබා තිබීම විශේෂත්වයකි. මේ අනුව මෙම සමස්ත කණ්ඩායම් 10 සඳහාම සමස්ත ගැනුම්කරුවන් 84 දෙනෙකු ලංසු තබා තිබීම විශේෂත්වයකි.

 



Recommended Articles