ක්‍රිකට් තරග පාවාදෙන්න බලපෑම් කළ ඉන්දියානුවට ලංකාවේදී සිර දඩුවම් හා දඩ


මුදලට ක්‍රිකට් තරග පාවාදීමට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරද පිළගත් ඉන්දීය රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමනාකාරවරයාට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය රුපියල් කෝටික දඩයක්ද පැනවුවාය.

විත්තිකරුට නියම කළ බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම වසර 10ක කාලයකින් ගෙවී යන අන්දමින් ක්‍රියාත්මක කිරීමට නියම කළ විනිසුරුවරිය විත්තිකරුට නියම කළ දඩ මුදල් නොගෙවුවහොත් අනිවාර්්‍ය වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළාය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ”ලෙජන්ට් ට්‍රොපි 2024” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් ඉන්දීය රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමනාකාරවරයා වු පෙචලෝඩියා ආකාශ් නමැත්තාට මෙලෙස දඬුවම් නියම කළාය.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත නීතීගත කිරීමෙන් පසු පැවරූ පළමු නඩුවේදී චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුට මෙලෙස දඬුවම් නියම කළ අතර මුදලට තරග පාවාදීමේ චෝදනාවට වරදකරු වු පුද්ගලයකුට දකුණු ආසියාවේදී දඬුවම් නියම කළ මුල්ම අවස්ථාව මෙය බව සැළකේ.

2024 මාර්තු මාසයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වු ”ලෙජන්ට් ට්‍රොපි 2024” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෆිල්ම්ස්ටඩ්ට සහ නවසීලන්ත ක්‍රීඩක නිල් බෲට බලපෑම් කළ බවට විතත්තිකරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණී.

නඩු විභාග කිරීමට කැඳවු අවස්ථාවේදී විත්තිකරු චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා එක් චෝදනාවකට වසර දෙක බැගින් චෝදනා දෙකට වසර 04ක සිර දඬුවම් නියම කල විනිසුරුවරිය දඬුවම වසර 10කට අත්හිටුවීමට නියම කළාය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජේෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥවරුන් වන සන්දීප්ත සූරියආරච්චි, වයි.ඩි ජයසේකර, ජනක මාරපන සමඟ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා පෙනී සිටියේය.



Recommended Articles